සෙලාන් බැංකුව “සෙලාන් ෂුවර්” සහ “සෙලාන් තිලිණ සයුර” අත්හිටුවීමට යයි

සෙලාන් බැංකුව “සෙලාන් ෂුවර්” සහ “සෙලාන් තිලිණ සයුර” අත්හිටුවීමට යයි

සෙලාන් බැංකුව මගින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද “සෙලාන් ෂුවර්” සහ “සෙලාන් තිලිණ සයුර” යන ප්‍රතිලාභ ක්‍රම 2021 ජනවාරි 31 වැනිදා සිට අත්හිටුවන බව නිවේදනය කරයි. ඒ අනුව 2020 පෙබරවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි “සෙලාන් මෙගා රිවෝඩ්ස්” ප්‍රතිලාභ ක්‍රමය හඳුන්වාදීම සිදු වන බවද බැංකුව සඳහන් කරයි.

මේ පිළිබඳව සිය ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම සඳහා සෙලාන් බැංකුව පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය හරහා දැන්වීම් ඉදිරිපත් කර තිබුණි. 

එහි සඳහන් ආකාරයට අලුතින් හඳුන්වාදුන් මෙම “සෙලාන් මෙගා රිවෝඩ්ස්” ප්‍රතිලාභ ක්‍රමය හරහා ලබා දෙන නව ප්‍රතිලාභ කාණ්ඩ තුන වන්නේ, 25 වැනි විවාහ සංවත්සරය, 50 වැනි උපන්දිනය සහ රැකියාවෙන් විශ්‍රාම ගැනීමේදී ලැබෙන ප්‍රතිලාභයයි.

එහිදී ප්‍රතිලාභ වශයෙන් ලැබෙන  මුදල රුපියල් 2,500ක අවමයක සිට රුපියල් ලක්ෂයක් දක්වා වූ උපරිමයක් ලෙස වෙනස්විය හැකි බවද සඳහන් වෙයි. (මෙය ශල්‍යකර්ම සඳහා රුපියල් ලක්ෂ දෙකක් දක්වා පවතී)

මේ අතර ඉදිරිපත් කරන මෙම “සෙලාන් මෙගා රිවෝඩ්ස්” නව ප්‍රතිලාභ සැලසුමේ ඇති ඇතැම් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන කොන්දේසි කිහිපයක්ද බැංකුව ඉදිරිපත් කර සිටියි.

ඒ අනුව විවාහ මංගල්‍යය, දරු උපත, ශල්‍යකර්ම, පහ වසර ශිෂ්‍යත්වය සහ විභාග විශිෂ්ටතා යටතේ ප්‍රතිලාභවලට සුදුසුකම් ලැබීමට නම් එම එක් එක් අවස්ථාවට පෙර ලිත් මාස හයක කාලයක් පුරා, ගිණුමෙහි රුපියල් 20,000ක අවම හර ශේෂයක් පවත්වාගෙන යා යුතු වෙයි. එය ඇමෙරිකානු ඩොලර් වටිනාකමින් ඩොලර් 500ක් හෝ ඊට සමාන වෙනත් අනුමත මුදල්  වර්ගයකින් විය යුතු බවත් බැංකුව පවසයි.

එසේම උපන්දින, විවාහ සංවත්සර, විශ්‍රාම ගැනීම සහ හෝටල් පැකේජ කාණ්ඩ යටතේ ප්‍රතිලාභවලට සුදුසුකම් ලැබීමට නම්, එම එක් එක් අවස්ථාවට පෙර ලිත් මාස දොළහක කාලයක් පුරා, ගිණුමෙහි රුපියල් 20,000ක අවම හර ශේෂයක් පවත්වා ගෙන යා යුතු වෙයි. එය ඇමෙරිකානු ඩොලර් වටිනාකමින් ඩොලර් 500ක් හෝ ඊට සමාන වෙනත් අනුමත මුදල්  වර්ගයකින් විය යුතු බවත් බැංකුව පවසයි.

මීට අමතරව රජයේ රෝහල්වල ශල්‍යකර්ම සම්බන්ධයෙන් කරනු ලබන ආපසු ගෙවීම්වලදී ඊට වලංගු වන්නේ ශල්‍යකර්ම හා ඍජු බාහිර වියදම් පමණක් බවත් මෙම නිවේදනයේ සඳහන් කොන්දේසිවල ඇතුළත්ව ඇත.

මේ අතර, පහ වසර ශිෂ්‍යත්ව කාණ්ඩය යටතේ හිමිකම්පෑම සඳහා මින් ඉදිරියට සුදුසුකම් ලබනු ඇත්තේ “සෙලාන් ටිකිරි” ගිණුම්  හිමියන්  පමණකි.

“2020.02.01 දිනට පෙර සිය ගිණුම විවෘත කර, සුදුසුකම් ලබන ශේෂයන් පවත්වාගෙන යන ලද සියලුම ගිණුම් හිමියන් 2021.01.31 දක්වා ‘සෙලාන් ෂුවර්’ සහ ‘සෙලාන් තිලිණ සයුර’ යටතේ වන ප්‍රතිලාභ භුක්ති විඳීමට සුදුසුකම් ලබන්නේය.” සෙලාන් බැංකුව සඳහන් කරයි.

එසේම 2020 පෙබරවාරි 01 දිනෙන් පසු සිය ගිණුම් විවෘත කරන ලද ගනුදෙනුකරුවන් නව “සෙලාන් මෙගා රිවෝඩ්ස් ප්‍රතිලාභ ක්‍රමයට සුදුසුකම් ලබනු ඇති බවත්, ඉහත සඳහන් මුල් සුදුසුකම් කොන්දේසි සපුරන දැනට සිටින ගිණුම් හිමියන්ද නව සැලසුම යටතේ වන නව ප්‍රතිලාභ  භුක්ති විඳීමට සුදුසුකම් ලබන බවත් බැංකුව පවසයි.

කෙසේ වෙතත් ප්‍රතිලාභ හිමිවීමට තිබිය යුතු සුදුසුකම් හෝ ප්‍රතිලාභ කාණ්ඩයන් හෝ අගයන් බැංකුවේ අභිමතය පරිදි වෙනස් කිරීමේ අයිතිය බැංකුව සතුව ඇති බවත්, සෙලාන් බැංකුව මෙහිදී සදහන් කරයි.

මෙම නව ප්‍රතිලාභ ක්‍රමය පිළිබද වැඩි විස්තර 011 200 88 88 දුරකතන අංකය හරහා හෝ ළගම පිහිටි සෙලාන් බැංකු ශාඛාවකින් ලබා ගත හැකි බවත් බැංකුව වැඩිදුරටත් නිවේදනය කර සිටියි.

Visits: 78

Leave a Reply

Your email address will not be published. Required fields are marked *