පිදුරුතලාගල කන්දේ රේඩාර් ටෙන්ඩරය පිළිබඳ වාර්තාවක් ඉල්ලයි

පිදුරුතලාගල කන්දේ රේඩාර් ටෙන්ඩරය පිළිබඳ වාර්තාවක් ඉල්ලයි

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කඳු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සඳහා වන ඩෙන්ඩරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.මේ. මොහොමඩ් මහත්මිය, එම සමාගමේ සභාපතිවරයා වන මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග  මහතාගේ උපදෙස් අනුව ලේකම්වරිය විසින් අදාළ වාර්තාව කැඳවා තිබේ.

මෙම පිදුරුතලාගල රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කර ඇති ප්‍රංශ සමාගමට එම ටෙන්ඩරය ලබා ගැනීම සඳහා එම සමාගමේ නිලධාරීන් දෙදෙනකු විවිධ බලපෑම් සිදු කරන බවට අමාත්‍යාංශය වෙත ලැබී ඇති පැමිණිලි අනුව අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇතැයි පැවසෙයි.

ප්‍රංශ සමාගමට අමතරව තවත් රටවල් 02ක සමාගම් 02ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවත් එම ලංසු ප්‍රංශ සමාගමේ ලංසුවට වඩා අඩු බවත් එම පැමිණිලිවල සටහන්ව ඇතැයිද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

සී/ස. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම මගින් නිකුත් කෙරුණු ලංසු අංක – 114/T/2017 දරණ නිවේදනයට අනුව, පිදුරුතලාගල රේඩාර් ඉංජිනේරු මධ්‍යස්ථානය සඳහා සන්නිවේදන කුළුණක් නිර්මාණය, සැපයුම සහ සවි කිරීම සඳහා මෙම ලංසු කැඳවීම සිදුවිය. 

මෙහිදී ප්‍රංශයේ Thales Group නම් සමාගමක් ලංසු ඉදිරිපත් කර තිබූ අතර, එම සමාගම වෙත ජාත්‍යන්තර වශයෙන් සතු පැරණි වාර්තා පිරික්සීමේදී යම් සැකකටයුතු ගණුදෙනු පිළිබද කරුණු රැසක්ම මතුව තිබුණි. ඒ අනුව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් මෙම ටෙන්ඩරය අදාළ සමාගම වෙත පිරිනැමීම පිළිබඳව යළිත් අවධානය යොමු කර තිබුණි.

එසේම පසුගිය ජනවාරි මාසයේදී මෙම කරුණ සම්බන්ධයෙන් විශ්‍රාමික ඉංජිනේරුවන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම ටෙන්ඩර් කැඳවීම අත්හිටුවීමටද ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා කටයුතු යෙදීය.

එහිදී අදාළ පැමිණිල්ල සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ඉදිරිපත් කර තිබූ අතර එය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන්ට පිටපත් කර තිබුණි.

එම පැමිණිල්ලට අනුව මෙම ඩෙන්ඩරය සඳහා ප්‍රංශයේ Thales Group සමාගමට අමතරව, ඉතාලියේ Leonardo නම් සමාගමක් සහ ස්පාඤ්ඤයේ Indra Sistemas නම් සමාගමක්ද ලංසු ඉදිරිපත් කර තිබුණු බව හෙළිදරව් කෙරිණි. එහිදී ඉතාලි සහ ස්පාඤ්ඤ සමාගම් මේ සඳහා රුපියල් මිලියන 44ක අඩුම ලංසුවක් ඉදිරිපත් කර තිබූ අතර, ප්‍රංශ සමාගමේ ලංසුව රුපියල් මිලියන 86ක් විය. 

එසේම ප්‍රංශයේ මෙම Thales Group සමාගමට එරෙහිව අවස්ථා කිහිපයකදීම මූල්‍ය වංචා පිළිබඳ චෝදනා එල්ල වී තිබේ. ඒ යටතේ 2004 වසරේදී ලෝක බැංකුවේ අන්තර්ග්‍රහණ කමිටුවක් මගින් අදාළ සමාගම අසාදු ලේඛන ගත කිරීම පවා සිදු කර ඇත. එසේම දකුණු අප්‍රිකාවත් සමගින් සිදුකළ  ගනුදෙනු සහ තායිවානය සමගින් සිදු කළ ගනුදෙනුවලදීද කප්පම් මුදල් ගෙවූ බවට එම සමාගමට චෝදනා එල්ල වී දඩ පැමිණවීම්ද සිදුව තිබේ.

Visits: 57

Leave a Reply

Your email address will not be published. Required fields are marked *