ඩයලොග් ෆයිනෑන්ස් 2019දීත් අලාභ ලභයි

ඩයලොග් ෆයිනෑන්ස් 2019දීත් අලාභ ලභයි

ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී සමාගම 2019 වසරේදීත් පිට පිට දෙවන වරටත් බදු පසු අලාභයක් හිමි කරගෙන ඇතැයි වාර්තා වෙයි. එම සමාගම ඊයේ (10දා) සිය කොටස් හිමිකරුවන් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයක මේ කරුණු සඳහන්ව ඇත. 

එහි සඳහන් ආකාරයට පසුගිය 2018 වසරේ අප්‍රේල් 01 වැනිදා සිට 2019 වසරේ මාර්තු 31 වැනිදා අවසන් වූ මූල්‍ය වර්ෂය තුළදී ඩයලොග් ෆයිනෑන්ස් සමාගම ලබා ඇති බදු පසු අලාභය රුපියල් මිලියන 129 (රුපියල් 129,410,806) කි. එසේම 2017 අප්‍රේල් 01 වැනිදා සිට 2018 මාර්තු 31 වැනිදා දක්වා වූ මූල්‍ය වර්ෂය තුළදීද එම සමාගම රුපියල් මිලියන 22 ක (රුපියල් 22,524,854) බදු පසු අලාභයක් හිමි කරගෙන ඇත.

කෙසේ වෙතත් 2019 වසරේදී රුපියල් මිලියන 129ක අලාභයක් වාර්තා කළද පෙර මූල්‍ය වසරට සාපේක්ෂව එම වසරේදී සමාගමේ ආදායම 54% කින් වර්ධනය වී ඇතැයිද ඔවුන් පෙන්වා දී තිබේ.

එම මූල්‍ය වසර දෙකේදීම මෙලෙස අලාභයක් හිමි කරගැනීමට සිදුවීම සම්බන්ධයෙන් හේතු වූ කරුණු කිහිපයක්ද ඩයලොග් ෆයිනෑන්ස් සමාගම මෙහිදී කරුණු දන්වා සිටියි.

2019 සිදු වුණු අලාභය සඳහා ඔවුන් දක්වන පළමු කරුණ වන්නේ මෙහෙයුම් ආදායම් වර්ධනය වුවත් ඊට සාපේක්ෂව මෙහෙයුම් වියදම්ද කැපී පෙනෙන ලෙස ඉහළ යාමයි. 

එහිදී ඊට පෙර වසරට සාපේක්ෂව 2019 වසරේදී ණය හේතුවෙන් සිදුවූ අහිමිවීම්වල වටිනාකම රුපියල් මිලියන 79 සිට රුපියල් මිලියන 133 දක්වා ඉහළ යෑමත්, එය හේතුවක් වෙමින් සමාගම සතු ණය ආපසු නොලැබීමේ (NPA – Non Performing Advances) අනුපාතය 14.07% සිට 23.99% දක්වා ඉහළ යෑමත් මේ තත්ත්වයට හේතු වී තිබේ. 

එසේම Fintech තාක්ෂණය වෙනුවෙන් යෙදවූ මුදල් හේතුවෙන්ද මෙම වියදම් ඉහළ ගොස් ඇතැයි ඩයලොග් ෆයිනෑන්ස් සමාගම පවසයි. එහිදී එම මුදල් යෙදවීම් පිළිබඳව මේ වනවිටත් විමර්ශනයක් සිදු කරන බවත්, එම ෆින්ටෙක් යෙදවුම් පිළිබඳව නියාමන ආයතන තුළින් අනුමැතියක් හිමිවන තුරු සිය ව්‍යාපාර තවදුරටත් පුළුල් කිරීමේ බලාපොරොත්තු පසු දැමීමටද සිදුව ඇතැයි ඩයලොග් ෆයිනෑන්ස් පෙන්වා දෙයි.

2015 වසරේදී රුපියල් මිලියන 8 ක ලාභයක් අත්පත් කරගත් ඩයලොග් ෆයිනෑන්ස් සමාගම 2016 දී රුපියල් මිලියන 3ක අලාභයක් හිමි කරගත්තේය. පසුව 2017 දී රුපියල් මිලියන 4ක ලාභයක් හිමි කරගත් සමාගම 2018 දී රුපියල් මිලියන 22 ක අලාභයක් හිමි කරගෙන තිබේ. ඒ අනුව ගෙවුණු වසර පහක කාලය තුළදී ඩයලොග් ෆයිනෑන්ස් සිය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවීමක් පවා සිදු කර නැත.

Visits: 149

Leave a Reply

Your email address will not be published. Required fields are marked *