ව්‍යාපාර සැපයුම් දාම මූල්‍යකරණ උපාය මාර්ග ගොඩනැඟීම සඳහා කොමර්ෂල් බැංකුව IFC සමඟ හවුල්කාරීත්වයක් අරඹයි

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වලට වැඩි වශයෙන් ණය ලබා දීමට සැපයුම් දාම මූල්‍යකරණ (SCF) උපාය මාර්ගයක් ගොඩනැඟීම සඳහා කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගීතාවයක් ඇති කරගෙන ඇති බව නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සැපයුම් දාම මූල්‍යකරණ බැංකුවක් බවට පත් වීමට හැකි උපායමාර්ගික බැංකු ආයතනයක් ලෙස IFC කොමර්ෂල් බැංකුව හඳුනාගෙන ඇත්තේ බැංකුවේ ආයතනික හා ව්‍යාපාරික බැංකුකරණය තුළ කැපී පෙනෙන ක්‍රියාකරීත්වය හා උපාය මාර්ගිකව විවිධාංගීකරණය කර ඇති ශාඛා ජාලය සලකා බලමිනි. කොමර්ෂල් බැංකුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට වැඩිම ණය ලබා දෙන මූල්‍ය ආයතනය ද වේ. 

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලින් සියයට 75 කටත් වඩා ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වන අතර මෙරට රැකියාවලින් සියයට 45ක් සහ රටේ දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 52කට දායක වේ. එසේ වුවත්, මූල්‍ය සම්පාදනය බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් ලෙස සලකන අතර එය ඔවුන්ගේ වර්ධන විභවයට හානිකර වේ. IFC සමඟ ඇතිකරගත් මෙම නව හවුල්කාරීත්වය මගින් කාන්තාවන් සතු ව්‍යාපාර ඇතුළුව මෙම සියළුම ව්‍යාපාරවලට ණය ලබා දීම සඳහා පහසුකම් සපයනු ඇති බව බැංකුව පවසයි.    

බැංකුවේ මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසුවේ සැපයුම් දාම මූල්‍යකරණය ගොඩනැගීම බැංකුවට සිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කළඹ තිරසාර කිරීමට හා අවදානම් අවම කර ගැනීමට උපකාරී වන බවයි. “දේශියව සහ දේශ සීමා හරහා සැපයුම් දාම මූල්‍යකරණය ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකනු ලැබුව ද, එය පවතින්නේ අඩු සංවර්ධිත අවධියකයි,” යනුවෙන් ඔහු පැහැදිලි කළේය. “බැංකුවල සීමිත ධාරිතාව සහ ඇප මත පදනම් වූ ණය ලබා දීමේ ක්‍රමය මත දැඩි ලෙස රඳා පැවතීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වර්ධනයට බලපා ඇති ප්‍රධාන සාධක අතර වේ.”

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා IFC දේශිය කළමණාකරු ඇලහැන්ඩ්‍රෝ ඇල්වාරෙස් ඩි ලා කැම්පා මහතා පැවසුවේ: “කුඩා ව්‍යාපාර ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ එන්ජිම වන අතර, ඒවා රැකියා උත්පාදනය කිරීමට හා ආර්ථික වර්ධනයට ද හේතු වේ. එවන් පසුබිමකදීත් ඔවුන් තම ව්‍යාපාරවල පැවැත්මට සහ වර්ධනයට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය ලබා ගැනීමට අරගලයක යෙදෙයි. IFC හි දිගුකාලීන හවුල්කරුවෙකු වන කොමර්ෂල් බැංකුව සමඟ එක්ව අප, ව්‍යාපාර සඳහා මූල්‍ය ප්‍රවේශය වැඩි කිරීම උදෙසා වසර ගණනාවක් පුරාවට කටයුතු කර ඇත. මෙම නවතම සහයෝගීතාවය, බැංකුවට සිය සැපයුම් දාම මූල්‍යකරණය ශක්තිමත් කර ගැනීමට උපකාරී වනු ඇත. එසේම, තවත් බොහෝ කුඩා ව්‍යාපාරවලට සේවය සැපයීමට සහ විධිමත් සැපයුම් දාමයන් වෙත ඔවුන්ගේ ඇති සම්බන්ධතා වැඩිදියුණු කර දීමට ද හැකියාව ලැබේ. අවසානයේ එමගින් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට යහපත් අනාගතයක් උදාකර දීමට මග පාදනු ඇත.”

Visits: 0