ශ්‍රී ලංකන් මිලදී ගැනීම පිටුපස සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමත්?

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරමින් ආයෝජන යෝජනා ඉදිරිපත් කර ඇති සමාගම් අතර සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමත් සිටින බව වාර්තා පවසයි.

එම සමාගම මෙම ආයෝජන යෝජනා ඉදිරිපත් කර ඇති ඉන්දියාවේ Sherisha Technologies Ltd සමාගම හරහා මෙම ඉදිරිපත්වීම සිදු කර ඇතැයි මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන ඩේලිඑෆ්ටී පුවත්පත සඳහන් කරයි. Sherisha Technologies Ltd සමාගම මීට පෙර SunEdison Energy India Ltd ලෙස හැඳින්වුණි.

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම, Sherisha Technologies Ltd සමාගම කටාරයේ ෂෙයික් නයේෆ් බින් ඊද් අල් තානිට අයත් පෞද්ගලික ආයෝජන හස්තයක් වන MBS Investments නම් ආයතනයත් සමගින් පසුගියදා සමාගම් එකමුතුවක් පිහිටුවා ගැනීමටත් කටයුතු යොදා තිබේ.

මෙම උපායමාර්ගික සන්ධානය හරහා ආයෝජන සඳහා අවශ්‍ය ආයෝජන රැගෙන ඒම සඳහා හැකියාවක් පවතින බවත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා සුප්‍රීම් ග්ලෝබල් සමාගම වෙත අවශ්‍ය මුදල් මේ හරහා ලැබෙනු ඇති බවත් ඩේලිඑෆ්ටී පුවත්පත වැඩිදුරටත් පවසයි.

මෙම Sherisha Technologies Ltd සමාගමට අමතරව මැලේසියාවේ ක්‍රියාත්මක එයාර් ඒෂියා කන්සල්ටින්ග් සමාගම, මෙරට ෆිට්ස් එයාර් ගුවන් සමාගම, ඉන්දියාවේ දර්ශාන් එලයිට් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම, ට්‍රෙෂර් රිපබ්ලික් ගාර්ඩියන් ලිමිටඩ් සමාගම (ජනරජ වත්කම් භාරකාර සමාගම) සහ හේලීස් පීඑල්සී සමාගම ආයෝජන යෝජනා ඉදිරිපත් කර තිබුණි.

ආර්.එම්.මනිවානන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම මේ වනවිට ශ්‍රී ලංකාවට අමතරව ජපානය, උගන්ඩාව, මයුරිටානියාව, කොංගෝව සහ මෝල්ටාව යන රාජ්‍යයන්හි සිය ව්‍යාපාරික මෙහෙයුම් සිදු කරයි.

එම සමාගම ශ්‍රී ලංකාව තුළ භූ ස්ථාවර චන්ද්‍රිකා, කුඩා චන්ද්‍රිකා උපදේශනය, මහනුවර පල්ලේ කැලේ පිහිටි  දකුණු ආසියා අභ්‍යවකාශ ඇකඩමිය, ග්‍රැෆයිට් සහ ඛනිජ වැලි සංචිත, ආගන්තුක සත්කාර, ෆින්ටෙක්, දේපළ වෙළෙදාම්, මාධ්‍ය සහ ඔටෝමොබයිල් යන ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වෙයි.

සුප්‍රසිද්ධ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව කක්ෂගත කළේද මෙම සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම මගින් වන අතර, ජනප්‍රිය සුප්‍රීම් ටීවී නාලිකාවද පවත්වාගෙන යන්නේ එම සමාගමයි.

Views: 0