‘ඩිල්මා සිනමන් (Dilma Cinnamon) එළි දකී

“සිලෝන් ටී” නාමය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන ගිය මෙරට ප්‍රමුඛතම තේ අපනයන සමාගමක් වන ඩිල්මා සිලෝන් ටී සමාගම DILMAH CEYLON TEA COMPANY PLC (CTEA.N0000) සිය සමාගම හරහා සිදු කරනු ලබන දේශීය අපනයන තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇතැයි පවසයි.

ඒ අනුව මේ යටතේ ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයටද ප්‍රවිශ්ට වෙමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු කුරුඳු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොලට ඩිල්මා සන්නාමය යටතේ හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

Dilma Finest Ceylon Cinnamon යන සන්නාමයෙන් මෙය ඉදිරිපත් කර ඇති අතර, පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැති උත්සවයකදී මෙම “ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළිදැක්වීම සිදු විය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක සූපවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීන සූපවේදී තෝමස් ගුග්ලර් මහතා විසින් සංකේතාත්මකව ඩිල්මා කුරුඳු නිෂ්පාදන එළි දැක්වීම සිදු කෙරිණි.

ඩිල්මා සමාගම “සිලෝන් ටී” නාමය නැවත පණ ගැන්වූ ආකාරයටම “සිලෝන් සිනමන්” නාමය ඉදිරියට ගෙන ඒම පිළිබඳ මෙහිදී සිය ස්තූතිය පිළිගැන්වූ ජනාධිපතිවරයා, මෙය රටේ ආර්ථිකයේ නව පරිච්ඡේදයක ඇරඹුම වනු ඇති බවටද විශ්වාසය පළ කර සිටියේය.

මේ අතර, රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

Views: 0