සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වෙත යුරෝපා සංගමය හරහා ඩොලර් මිලියන 3ක ණය පහසුකමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (SDF.N0000)  වෙත EDFI කළමනාකරණ සමාගම (EDFI) මගින් ඩොලර් මිලියන 3ක ණය පහසුකමක් හිමිව ඇතැයි පවසයි.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි මෙහෙයුම් වෙනුවෙන් යුරෝපා සංගමය හරහා සිදු කරන අරමුදල් සම්පාදනයක් ලෙස මෙම ණය පහසුකම ලැබී ඇතැයි එම සමාගම පවසයි.

ඊට අදාළ අවසන් එකඟතාවට අත්සන් තැබීම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ EDFI අතර පසුගිය අප්‍රේල් 18 වැනිදා සිදුව තිබේ.

මෙම ණය පහසුකම හරහා සමාගමෙහි කෘෂිකාර්මික වැඩසටහන් වෙත සහයෝගයක් ලබාදීම අරමුණ වී තිබේ. එහිදී ගොවීන් වෙත අවශ්‍ය ට්‍රැක්ටර් සහ ගොයම් නෙලන යන්ත්‍ර ඇතුළු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ වඩාත් පහසු මිලට මිලදී ගැනීම සඳහා වන කෘෂිකාර්මික කල්බදු පහසුකම් ලබාදීම වෙනුවෙන් මෙම මුදල් වෙන් කිරීම සිදු කෙරේ.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙරට ක්‍රියාත්මක පැරණිතම රාජ්‍ය නොවන සංවිධානයක් වන සර්වෝදය ව්‍යාපාරයේ ආර්ථික හස්තය ලෙසින්ද කටයුතු කරයි. එම ව්‍යාපාරය හරහා මෙරට ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම අරමුණ වී තිබේ.

Views: 0