‘‘2024 වසර කොළඹ කොටස් හුවමාරුව සඳහා ධනාත්මක වේවි“ – CSE සභාපති

කොළඹ කොටස් හුවමාරුවේ (CSE) සභාපති, ඩිල්ෂාන් විරසේකර මහතා විසින් 2024 වර්ෂය සඳහා වන ප්‍රාග්ධන ප්‍රවර්ධන අවස්ථා සහ කොටස් වෙළෙඳපොළ ඉදිරි දැක්ම පිළිබඳව සිය අදහස් පහත පරිදි දක්වන ලදී.

වර්තමාන වෙළෙඳපොළ වාතාවරණය පිළිබඳ දළ විශ්ලේෂණයක් සහ 2024 වර්ෂය සඳහා කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත දැක්ම පිළිබඳව ඔබේ අදහස් දැක්විය හැකිද?
2024 වර්ෂය සඳහා වන කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත දැක්ම ධනාත්මක එකක් වනු ඇතැයි අප විශ්වාස කරන අතර එය සමස්තයක් ලෙස රටේ ඉදිරි දැක්ම පිළිබිඹු කරනු ඇති බව මාගේ අදහසයි. ආර්ථික ක්‍රියාකාරකම්වල සැලකිය යුතු ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබෙන අතර එය වර්තමානයේ ප්‍රාග්ධන වෙළෙඳපොළට සහ විශේෂයෙන්ම කොළඹ කොටස් හුවමාරුව තුළටත් ව්‍යාප්ත වෙමින් පවතී.

විශේෂයෙන්, කොටස් හුවමාරුවේ පිරිවැටුම් මට්ටම් වර්ෂය ආරම්භයේ පැවති මට්ටමට වඩා සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ඇත. ජනවාරි මාසයේදී එහි දෛනික සාමාන්‍ය පිරිවැටුම (ADT) රුපියල් මිලියන 715 සිට, වර්තමානයේ එනම් මාර්තු මස දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් බිලියන 1.8 විය. මෙය සාපේක්ෂව වඩාත් ස්ථාවර වැඩි වීමකි.

වෙළදපල කාර්ය සාධනය පෙර පරිදි නොවීමට හේතුව සහ මෙවර එය වඩා යහපත් වනු ඇතැයි මම විශ්වාස කරන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මම අදහස් කරමි. පළමු සහ තාර්කිකව වඩාත්ම වැදගත් හේතුව වන්නේ රට දැනට ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති තත්ත්වයක පැවතීමයි. එලෙස ණය නො‌ගෙවා පවතින අතරතුර එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදේශ ණය හිමියන් අවසන් තීන්දුව ලබා දෙන තෙක් බලා සිටින බැවින්, අපට දක්නට ඇත්තේ ඉතා සුළු මට්ටමේ විදේශීය වෙළදපල ක්‍රියාකාරකම් වන අතර, එබැවින් පිරිවැටුම තවමත් දේශීය වෙළදපල ක්‍රියාකාරකම් මගින් පාලනය වේ. මාර්තු 28 වන විට, අපි පිරිවැටුම සඳහා 74.91%ක දේශීය සහ 25.09%ක විදේශීය සහභාගීත්වයක් අත් විදින්නෙමු. එය පිරිවැටුම සඳහා 50-50ක දේශීය හා විදේශීය දායකත්වයක් දැකීමට අපට හැකි වූ 2018 වැනි පෙර වර්ෂවලට වඩා විශාල වෙනස්වීමකි.

ජූනි මාසයට පෙර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමට පුරෝකථනය කර ඇති බැවින්, ණය ගෙවීම පැහැර හැරීමේ තත්ත්වය ඉවත් වනු ඇතැයි අපි ශුභවාදීව දකිමු. ඉන් පසුව ආයෝජන කලඹ අරමුදල් ඔස්සේ ශ්‍රී ලංකාව තුළට ආයෝජන යොමු හැකි අතර විදේශීය ක්‍රියාකාරකම්වල වර්තමාන තත්ත්වය වන 25.09% සිට තවත් එය ඉහළ නැංවීමට හැකි වනු ඇත.
දෙවනුව, දේශීය ආර්ථිකය 2022 වර්ෂයේ දී 7.8% ක සෘණ වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර 2023 වර්ෂයේ එම අගය 2.3%කි. කෙසේ වෙතත් 2023 වර්ෂයේ අවසාන කාර්තුවේ 4.5%ක වර්ධනයක් පෙන්නුම් කරයි. එම නිසා 2024 වර්ෂය දෙස බලන විට ආර්ථිකය සියයට 3 – 5 අතර වර්ධනයක් අත්කර ගනු ඇතැයි අපි සුබවාදීව සිතන්නෙමු. එය තවත් බොහෝ ක්‍රියාකාරකම්වලට හේතුවක් වනු ඇති බවට නොඅනුමානය.

මීළඟට ආයෝජනයන් සඳහා පොලී අනුපාත බාධාවක් බවට පත් වී ඇත. මීට පෙර, ස්ථාවර ආදායම් මත ඵලදාව 20%කට වඩා වැඩි වූ අතර එමගින් ඉහළ ඵලදායීතාවකින් සමන්විතව ප්‍රතිලාභ ලැබිය හැකිද යන්න පවා නොසලකා සාමාන්‍ය කොටස් වැනි අවදානම් සහිත වත්කම් කාන්ඩ මග හැරීමට මිනිසුන් නැඹුරු වූහ. මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කර ඇති අතර, සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය පහළ යමින් 10%කට ආසන්න වන බව පෙනෙන බැවින්, එමඟින් මූලික වශයෙන් එය ණය වර්ධන උත්තේජනයක් අපේක්ෂා කරනු ඇත. අවසානයේදී, අඩු පොලී අනුපාත හේතුවෙන් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට මිනිසුන් කටයුතු කරනු ඇත.

අවසාන වශයෙන් පැවසිය හැක්කේ, වර්තමාන වෙළඳපල පරිසරයන් හි කාර්යසාධනය එතරම් සාධනීය නොවන බවත් වෙළඳපල තවමත් ඌන තක්සේරු මට්ටමක පවතින බවයි. වත්මන් වෙළෙඳපොලේ PE (මිළ ඉපයුම්) අනුපාතය 10.27ක් වන අතර PB (මිළ පොත් අගය) අනුපාතය 1.02ක් වේ. කෙසේ වෙතත්, ඉතිහාසයේ අපගේ වෙළඳපල තුළ 17 ගුණයක මිල ඉපැයීම්වල ගුණාකාරයකින් සහ එකහමාරක ගුණයක පොත් අගයකින් වෙළඳ කටයුතු සිදුවී ඇත. මෙම සියලු හේතු නිසා තවදුරටත් ඇගයීම් නැවත ශ්‍රේණිගත කිරීමකට හේතු වනු ඇත.

සමස්තයක් වශයෙන්, වෙළදපල ක්‍රියාකාරකම් සහ පිරිවැටුම ආයෝජන ඵලදාවන් වැඩි කරනු ඇති බව සහ ආර්ථික තත්ත්වයන් අඛණ්ඩව වැඩිදියුණු වන බැවින් 2024 වර්ෂය සඳහා වෙළඳපල වඩා හොඳින් ක්‍රියාත්මක වනු ඇතැයි අපි ඉතා ශුභවාදීව දකින්නෙමු.

2024 වර්ෂයේ දී කොටස් වෙළෙඳපොළ හරහා ප්‍රාග්ධන රැස් කිරීම සඳහා ඉල්ලුමක් ඇතිවනු ඇතැයි ඔබ අපේක්ෂා කරනවාද?
ඔව්, 2024 වර්ෂයේ දී කොටස් වෙලඳපොල හරහා ප්‍රාග්ධන රැස් කිරීම සඳහා ඉල්ලුම වැඩි වීමේ ප්‍රබල අපේක්ෂාවක් පවතී. මෙම ශුභවාදී දැක්මට දායක වන සාධක කිහිපයක් ඇත:

  • හිතකර වෙළඳපල තත්වයන්: සමාගම් සඳහා ප්‍රාග්ධනය රැස් කිරීමට හිතකර වෙළඳපල පරිසරයක් ලෙස සැලකේ. වැඩිදියුණු කළ තක්සේරු කිරීම් පිළිබඳ අපේක්ෂාවන් සමඟින්, සමාගම්වලට ප්‍රාග්ධනය රැස්කිරීමේදී දී සාධාරණ ගුණාකාර ලබා ගත හැකි අතර, එය ප්‍රාග්ධන මුදල් සම්භාරයක් වියදම් සඳහා සුදුසු කාලයක් බවට පත් කරයි.
  • ආයෝජකයන්ගේ රුචිකත්වය: ආයෝජක ක්‍රියාකාරකම් වැඩි වන විට, මූලික මහජන නිකුතූන් (IPO) සඳහා ක්‍රමයෙන් ඉහළ යන රුචිකත්වයක් පවතී. ආයෝජකයින්ගෙන් මෙම වැඩිවන ඉල්ලුම කොටස් වෙළෙඳපොළ හරහා ප්‍රාග්ධනය රැස්කර ගැනීමට අපේක්ෂා කරන සමාගම් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරයි.
  • නව නිෂ්පාදන හඳුන්වාදීම: තිරසාර බැඳුම්කර, යටිතල පහසුකම් බැඳුම්කර සහ සුකුක්ස් (sukuks) වැනි නව මූල්‍ය උපකරණ හඳුන්වාදීම සංවිධාන සඳහා අරමුදල් රැස්කිරීමේ විකල්පයන් බිහි කරයි. මෙම නව්‍ය අවස්ථා විවිධාංගීකරණය කිරීම හරහා නව උපකරණවලින් ප්‍රයෝජන ගැනීමට අපේක්ෂා කරන සමාගම් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන අතර එමඟින් වැඩි ලැයිස්තුගත කිරීම් සහ ආයෝජක ක්‍රියාකාරකම් වැඩි වනු ඇත.
  • බහු ලැයිස්තුගත පුවරු හඳුන්වාදීම හරහා පුළුල් පදනමක් ඇති කිරීම: සෑම ප්‍රමාණයකම දේශීය සමාගම් සඳහා කොළඹ කොටස් හුවමාරුව, ප්‍රධාන පුවරුව, දිරි සවි පුවරුව සහ සවිබල ගැන්වීමේ පුවරුව (Empower Board) යන ලැයිස්තුගත කිරීමේ පුවරු තුනක් ලබා දෙයි. මෙම පුවරු, සමාගම් සඳහා කොටස් හුවමාරුවේ ලැයිස්තු ගත වීම ලබා ගැනීමට සහ ප්‍රාග්ධන වෙළඳපොළට ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙයි. තව ද විවිධ සමාගම් පැතිකඩවලට සහ ප්‍රාග්ධන රැස් කිරීමේ අවශ්‍යතාවලට සරිලන පරිදි විකල්ප රාශියක් ඉන් සපයයි. තවද, අනාගතයේ දී අපේක්ෂිත රාජ්‍ය ව්‍යාපාර ලැයිස්තුගත කිරීම පමණක් ඉලක්ක කර ගනිමින් කොළඹ කොටස් හුවමාරුව විසින් කැටලිස්ට් (Catalist) පුවරුව හඳුන්වා දී ඇත. මීට අමතරව, ශ්‍රී ලංකාවේ ද්විත්ව ලැයිස්තුගත කිරීමේ තත්ත්වය අපේක්ෂා කරන විදේශීය-ලැයිස්තුගත සමාගම්වලට සහාය වීම සඳහා, කොළඹ කොටස් හුවමාරුව විසින් බහු මුදල් ඒකක (Multi Currency) පුවරුව නමින් විශේෂිත පුවරුවක් පිහිටුවා ඇත.
  • ප්‍රාග්ධන නිකුතු සමාගම් හා සම්බන්ධ ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරමින් සම්පත් බෙදා හැරීමෙන්, කොළඹ කොටස් හුවමාරුව සිය ලැයිස්තුගත කිරීමේ කාර්යය ශක්තිමත් කර ඇත. දැනුවත් කිරීම සහ වැරදි වැටහීම් නිවරදි කිරීම සඳහා සමාගම් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීමත් සහ ලැයිස්තුගත කිරීම් පහසු කිරීම සඳහා එහි ක්‍රියාවලීන් විධිමත් කිරීමත් යනාදිය මීට අයත් වේ.

දේශීය සමාගම් සඳහා විදේශ මුදලින් ප්‍රාග්ධනය රැස් කිරීමට අවස්ථාවක් තිබේද?
ඔව්, කොළඹ කොටස් හුවමාරුව හරහා විදේශ මුදල්වලින් ප්‍රාග්ධනය රැස්කර ගැනීමට දේශීය සමාගම්වලට සැබවින්මට අවස්ථාවක් ඇත. කොළඹ කොටස් හුවමාරුව විසින් ස්ථාපිත කරන ලද මේ ක්‍රියාපටිපාටිය ලැයිස්තුගත ආයතනවලට යම් යම් සුදුසුකම් නිර්ණායක සහ නියාමන අවශ්‍යතාවලට යටත්ව, විදේශ මුදල් වලින් කොටස් නිකුත් කිරීමට ඉඩ සලසයි.

ප්‍රධාන සුදුසුකම් අවශ්‍යතාවලින් එකක් වන්නේ සමාගමේ ආදායමෙන් 50% ක් විදේශ මුදල් ආකාරයෙන් විය යුතු වීම වන අතර වසර තුනක කාලයක් තුළ අවම සීමාව USD මිලියන 5ක් විය යුතුය. මීට අමතරව, මෙම නිකුත් කිරීම් වෙනස්කොටස් කාණ්ඩයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර රට තුළ වූ අනේවාසිකයින් සඳහා පමණක් ඉල්ලුම් කල හැකිය.

තවද, මෙම නිකුතු හරහා විදේශ මුදල් රැස් කරන සමාගම් විසින් ලැබෙන ආදායමෙන් 40%ක් දේශීය අවශ්‍යතා සඳහා වෙන් කළ යුතු අතර ඉතිරි 60% ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජනය කළ හැකිය.

ආයෝජකයන් විශාල ප්‍රමාණයෙන් සැදුම්ලත් සංචිතයකට ප්‍රවේශ වීම සහ අරමුදල් ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම ඇතුළුව, ලැයිස්තුගත කිරීම්වල ප්‍රතිලාභ තිබියදීත්, මෙතෙක් එවැනි ලැයිස්තුගත කිරීමක් දැකගත නොහැක. පවතින ආර්ථික තත්ත්වයන්, විනිමය අනුපාත අස්ථාවරත්වයන් සහ නියාමන සීමාවන් ඇතුළු විවිධ සාධක මෙයට හේතු විය හැක.

කෙසේ වෙතත්, මෙම ලැයිස්තුගත කිරීම් අනාගතයේදී වර්ධනය වනු ඇති බවට කොළඹ කොටස් හුවමාරුව සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ ශුභවාදී අදහසක් පවතී. අපනයනකරුවන් සහ අනෙකුත් සුදුසුකම් ලත් ආයතන අතර ප්‍රාග්ධනය සඳහා වැඩිවන ඉල්ලුම සමඟ දේශීය හා ගෝලීය ආර්ථික වාතාවරණයෙහි වැඩිදියුණු වීම, විදේශ මුදල් ප්‍රාග්ධන නිකුතුව සඳහා උනන්දුව ඇති කරන්නක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙකී තත්ත්වයන් අඛණ්ඩව වර්ධනය වෙමින් සහ ස්ථාවර වෙමින් පවතින අතර, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොලේ වර්ධනයට සහ සංවර්ධනයට දායක වෙමින්, කොළඹ කොටස් හුවමාරුව හරහා විදේශ මුදලින් ප්‍රාග්ධනය රැස්කර ගැනීමේ අවස්ථාවන් බොහෝ දේශීය සමාගම් විසින් ගවේෂණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොටස් වෙලඳපොල හරහා ප්‍රාග්ධනය රැස්කර ගැනීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය සමඟ සම්බන්ධ වී ඇත. ඔබට ඒ සම්බන්ධයෙන් විස්තර කළ හැකිද?

කොළඹ කොටස් හුවමාරුව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ, (USAID CATALYZE Sri Lanka Private Sector Development) පුද්ගලික අංශයේ සංවර්ධනය ක්‍රියාකාරකම් (PSD) අතර හවුල්කාරිත්වය කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන් කොටස් වෙලඳපොල හරහා ප්‍රාග්ධනය රැස්කර ගැනීමට බලගැන්වීම ඉලක්ක කරගත් වැදගත් මුලපිරීමක් වේ. කොළඹ කොටස් හුවමාරුවේ දිරි සවි හෝ සවිබල ගැන්වීමේ පුවරුවේ ලැයිස්තුගත කිරීමක් ලබා ගැනීමෙන් ඇති අවස්ථා පිළිබඳව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැනුවත් කිරීම මෙම සහයෝගීතාවය හරහා ඉටු වේ.

මෙම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා දීප ව්‍යාප්ත ප්‍රාග්ධන නිකුත් කරන්නන්ගේ සමුළු මාලාවක් සංවිධානය කර ඇති අතර, මෑතකදී එහි එක් අවස්ථාවක් යාපනයේදී පැවැත්විණි. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේදී ඇති ප්‍රතිලාභ සහ ක්‍රියාවලීන් පිළිබඳව ප්‍රාග්ධන නිකුත් කරන්නන් දැනුවත් කිරීමේ වේදිකාවක් ලෙස මෙම සමුළු ක්‍රියා කරයි.

දැනට, සමහර ආයෝජන බැංකුකරුවන්/ආයතනික මූල්‍ය උපදේශකයින් PSD (පුද්ගලික අංශයේ සංවර්ධනය ) සමඟ හවුල් වී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියට උපකාර කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. තව ද, කොළඹ කොටස් හුවමාරුව සමඟ ලියාපදිංචි වූ අනුග්‍රාහකයින් ලෙස, මෙම ආයෝජන බැංකුකරුවන්/ආයතනික මූල්‍ය උපදේශකයින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ පශ්චාත්-ලැයිස්තුගත කිරීම් සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දීමට, එකීි කටයුතු සඳහා පහසුකම් සැලසීමට සහ ඔවුන්ගේ අඛණ්ඩ සාර්ථකත්වය සහතික කිරීමට කැපවී සිටිති. මෙම සහය දැක්වීමේ ක්‍රියාවලිය ලැයිස්තුගත කිරීමෙන් පසු වසර දෙකක කාලයක් දක්වා පවතින අතර, එම කාලය තුළ මෙම උපදේශකයින් විසින් ලැයිස්තුගත ආයතන සඳහා ප්‍රසිද්ධ ගනුදෙනු කරන ලද සමාගමක් බවට වීමේ සංකීර්ණතා ගවේෂණය කිරීමට මඟපෙන්වීම සහ සහාය ලබා දීම කරනු ඇත.

සමස්තයක් වශයෙන්, මෙම හවුල්කාරිත්වය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීම සහ රටේ ආර්ථික වර්ධනයට සමස්ත ලෙස දායකවීම, කොළඹ කොටස් හුවමාරුවේ සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ කැපවීම නිරූපණය කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය සම්පත්, මගපෙන්වීම් සහ දිරිගැන්වීම් ලබා දීම ඔස්සේ අරමුණු කරන්නේ ප්‍රාග්ධන වෙළඳපල ඔවුන්ගේ පූර්ණ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමේ සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සමෘද්ධිමත් කිරීම සඳහා දායක වීමේ මාධ්‍යයක් ලෙස යොදා ගැනීමට ඔවුන් සවිබල ගැන්වීමයි.

කොළඹ කොටස් හුවමාරුව විවිධ අංශ අතර මුල්‍ය සාක්ෂරතාවය ඉතා උවමනාවකින් යුතුව ප්‍රවර්ධනය කරයි. මෙම කටයුතු පිළිබඳ ඔබේ අදහස් මොනවාද?
රටේ මූල්‍ය සාක්ෂරතාව සාපේක්ෂ වශයෙන් දුර්වල මට්ටමක පැවතීම සංවර්ධනය වෙමින් පවතින රටවලට සදාකාලික අභියෝගයක් බව මම විශ්වාස කරමි. මූල්‍ය සාක්ෂරතාව වසර කිහිපයකට පෙර 38% ක් වූ අතර දැනට එය 54%ක් ලෙස පවතී. සමස්ත අගය වැඩි වී ඇති මුත්, එය තවමත් සංවර්ධිත හෝ මධ්‍යම සංවර්ධිත රටවල් සාක්ෂාත් කර ගනිමින් සිටින මට්ටමේ සාක්ෂරතා අනුපාතයට පහළ මට්ටමක පවතී. ඕනෑම සංවර්ධිත රටක් 85%ක මට්ටමක් යටතේ මූල්‍ය සාක්ෂරතා අනුපාතයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරයි. මූල්‍ය සාක්ෂරතාව සහ අත්‍යවශ්‍යයෙන්ම රටක ‘සංවර්ධිත’ තත්ත්වය සාක්ෂාත් කර ගැනීම අතර සෘජු සහසම්බන්ධයක් ඇති බවක් මෙයින් සනාථ වේ.

කොළඹ කොටස් හුවමාරුව ජාතික මට්ටමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා මට්ටම් ඉහළ නැංවීම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි. ආයෝජකයින් තුළ පමණක් නොව සාමාන්‍ය ජනතාව තුළ ද ඉතා බිම් මට්ටමේ සිට මූල්‍ය සාක්ෂරතාවය ඇති බව සහතික කිරීම සඳහා අපි විවිධ අධ්‍යාපනික වැඩසටහන් පවත්වමු.

කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමඟ එක්ව, දිස්ත්‍රික්ක 7ක ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් 2023 වර්ෂයේදී ආයෝජක සමුළු 07 ක් සංවිධානය කළ අතර, ඒ හරහා ඉදිරියේදී සම්බන්ධ වීමට නියමිත සහ දැනට සිටින ආයෝජකයින්ට වටිනා අවබෝධයක් ලබා දීමට කටයුතු කර ඇත. අපි මේ වසර සඳහා ද එවැනි දේ සැලසුම් කර ඇති අතර සමුළු තුනක් වව්නියාව, නුවරඑළිය සහ දඹුල්ලේදී දැනටමත් පවත්වා අවසන් කර ඇත. අනෙකුත් සමුළු 5 ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට නියමිතය.

මේවාට අමතරව, ග්‍රාමීය ප්‍රදේශ ඇතුළුව දිවයිනේ සෑම ප්‍රදේශයකම මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කාර්යක්ෂමව ක්‍රියා කරන ශක්තිමත් ශාඛා ජාලයක් අප සතුව ඇති අතර, පසුගිය වසර තුළ අපි ශාඛා මගින් අධ්‍යාපන වැඩසටහන් 310ක් මෙන්ම මාර්ගගත වැඩමුළු 80ක් සාර්ථකව නිම කර ඇත්තෙමු.
අප අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර 2025 විෂයමාලාවට මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධ විෂයයන් ඇතුළත් කිරීමට එකඟතාවකට පැමිණ ඇත. ද්විතීයික අධ්‍යාපනය හදාරා පාසල් හැරයන සිසුන් තුළ මෙමගින් සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇත. මන්ද ඔවුන් විශ්ව විද්‍යාලය අධ්‍යාපනය නොලැබුවද, ප්‍රාග්ධන වෙළඳපල සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ මූලික දැනුමක් ඔවුන් සතුවන හෙයිනි. වත්මන් සා/පෙළ විෂය නිර්දේශයේ තෝරාගත හැකි ‘වාණිජ්‍යය’ විෂය යටතේ මෙන්ම වාණිජ විෂය ධාරාව යටතේ උසස් පෙළ විෂය නිර්දේශයේ ද ප්‍රාග්ධන වෙළඳපොළවල් සම්බන්ධයෙන් ඉතා මූලික හැඳින්වීමක් ඇතුළත් වේ. 6 – 9 ශ්‍රේණිවල සිසුන් සාමාන්‍ය පෙළ මට්ටමට පැමිණීමට පෙර මූල්‍ය සාක්ෂරතාවය සහතික කිරීම සඳහා 2025 සඳහා වන විෂයමාලා සංශෝධනයට ද එය ඇතුළත් කිරීමට අපි යෝජනා කළෙමු.

ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව යන ආයතනවල සහයෝගිතා ප්‍රයත්නයක් ලෙස පසුගිය වසරේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවිධාන 100ක් පිහිටුවීමෙන් පසු, අපි අන්තර් පාසල් ප්‍රශ්න විචාරාත්මක තරගයක් සංවිධානය කිරීමට ද කටයුතු සුදානම් කරමින් සිටිමු. අප රටේ එවැන්නක් පවත්වන පළමු අවස්ථාව මෙය වේ.

මීට අමතරව, ‘Varsity Battles’ නමින් අන්තර් විශ්වවිද්‍යාල ප්‍රශ්න විචාරාත්මක තරගයක් පැවැත්වීමට ද අපි කටයුතු කර ඇත්තෙමු. ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ අරමුණින් අප මෙවර එය පවත්වන්නේ අඛණ්ඩව දෙවැනි වරටය.

ආයෝජකයින්ගේ විශ්වාසය සහ ආරක්ෂාව ඉහළ නංවමින් දේශීය ආයෝජකයින් ප්‍රමාණය වර්ධනය කිරීමට කොළඹ කොටස් හුවමාරුව ගෙන ඇති ප්‍රයත්නයන් පිළිබඳ පැවසිය හැක්කේ කුමක්ද?
මා පෙර සඳහන් කළ පරිදි අධ්‍යාපනික වැඩසටහන්, ආයෝජක සමුළු සහ ප්‍රාග්ධන නිකුත් කරන්නන්ගේ සමුළු බොහොමයක් සංවිධානය කර ඇති අතර, වැඩි හැකියාවන්ගෙන් යුතු ආයෝජකයින් එක් කර ගැනීමට වඩාත් වේගවත් ක්‍රමයක් ලෙස අපි ප්‍රශ්න විචාරාත්මක තරඟ පවත්වන්නෙමු. කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන වන “CSE Masterminds 2024” හි හයවන වටය සැලසුම් කරමින් පවතී. 2023 වර්ෂයේ දී, රට පුරා ආයතනික සහ පෞද්ගලික සමාගම්, රාජ්‍ය ආයතන සහ අනෙකුත් ප්‍රාග්ධන වෙළඳපොළ පාර්ශවකරුවන්ගේ පුළුල් නියෝජනයක් සහිත කණ්ඩායම් 77කට අධික සංඛ්‍යාවක සහභාගීත්වයකින් මෙකී අවස්ථාව පැවැත්වීය.

ආයෝජකයින්ගේ විශ්වාසය සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් පළමුවෙන් මා හට පැවසීමට ඇත්තේ සමස්ත CDS ගිණුම් සංඛ්‍යාව වැඩි වී ඇති බවය. 2023 දෙසැම්බර් 31 වන දිනට පැවති CDS ගිණුම් සංඛ්‍යාව 930,022 ක් වූ අතර දැනට CDS ගිණුම් 933,592ක් ඇත. සම්බන්ධ වීමට හැකි ආයෝජකයින්ට පහසුවෙන් CDS ගිණුම් විවෘත කිරීමට, වැඩිදියුනු වන වෙළඳපල දත්ත වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට, කොටස් තැරැව්කරුවන් හරහා ගනුදෙනුවලට ප්‍රවේශය ලබා ගැනීමට සහ බැංකු ජාලය භාවිතයෙන් විද්‍යුත් ගෙවීම් සිදු කිරීමට CSE ජංගම යෙදුමක් අප සතුව ඇත. ආයෝජනය කරන මහජනතාවට යාවත්කාලින කල නව විශේෂාංග සහිත ජංගම යෙදුමක් ඉදිරියේදී අපේක්ෂා කළ හැකිය. අප බලාපොරොත්තුව වන්නේ මෙම ගිණුම් ක්‍රියාකාරීව ගනුදෙනු කටයුතුවල යොදා ගැනීමයි. මා කලින් සඳහන් කළ පරිදි අපි විවිධ පුහුණු වැඩසටහන්, ආයෝජක සමුළු ගණනාවක් මගින් විශ්වවිද්‍යාල හා පාසල් මට්ටමේ වැඩසටහන් සහ විදේශීය ප්‍රවර්ධන වැඩසටහන් පවත්වමින් ආයෝජකයින් වෙළෙඳ පොළ හා ගනුදෙනු කිරීමට දිරිමත් කරන්නෙමු.

ආයෝජක ආරක්ෂාව යනු කොළඹ කොටස් හුවමාරුව ඉතා බැරෑරුම් ලෙස සලකන දෙයකි. නව සුරැකුම්පත් හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ අවශ්‍යතා අනුව අපි ලැයිස්තුගත කිරීමේ නීතිරීතිවලට සංශෝධන කිහිපයක් සිදු කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආයෝජකයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග ශක්තිමත් වී ඇත. අභ්‍යන්තර ගණුදෙනු මෙන්ම අනෙකුත් වෙළඳපල වැරදි සහ සදාචාර විරෝධී භාවිතයන් සම්බන්ධයෙන් නීති උල්ලංඝණය කරන අයට බොහෝ ප්‍රතිවිපාක අත් විදීමට සිදුවනු ඇත. මේවාට අනුකූල වීම සඳහා අපි තරමක් දැඩි ප්‍රවේශයක් ගනිමින් සිටිමු.
ආයෝජකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තවත් පියවරක් වන කාලානුරූපී අනාවරණය කිරීම් මෙන්ම ගිණුම් ප්‍රකාශයට පත් කිරීම ඇතුළු ලැයිස්තුගත කිරීමේ නීති ද අපි ශක්තිමත් කර ඇත්තෙමු. මෙම නීති ක්‍රියාත්මක කිරීමට අප කැපවී සිටින අතර, සියලුම ලැයිස්තුගත සමාගම් මෙම නීතිරීතිවලට අනුකූල වන බවට මහජනතාව තුළ විශ්වාසයක් ඇති වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

කොළඹ කොටස් හුවමාරුව සතුව වෙළඳපල නිරීක්ෂණය, තැරැව්කරුවන් අධීක්ෂණය සහ ලැයිස්තුගත ආයතන අනුකූලතා අංශ ඇති අතර, සියලු ආයෝජක අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කරන වෙනම නියාමකයෙකු ද ඇත. ස්වාධීන කමිටුවක් වන නව ආරවුල් විසඳීමේ කමිටු (DRC) ව්‍යුහය සමස්ත දුක්ගැනවිලි ක්‍රියාවලිය පුරාවට අපක්ෂපාතී බව සහතික කිරීම සඳහා සම්පූර්ණයෙන්ම ස්වාධීනව පිහිටුවා ඇත. එබැවින්, යමෙකු පැමිණිල්ලක් කළ විට, එය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව වෙතින් සම්පූර්ණයෙන්ම වෙන් කර ස්වාධීන ආරවුල් විසඳීමේ කමිටුවකින් හරහා වන ක්‍රියාවලියක් වර්තමානයේ පවතී. එබැවින්, ඕනෑම පැමිණිල්ලක් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව වෙතින් සම්පූර්ණයෙන්ම ස්වාධීනව අවසන් වන ක්‍රියාවලියක් හරහා ක්‍රියාත්මක වේ.

පසුගිය වසරවල කොළඹ කොටස් හුවමාරුවට 45%ක පමණ විදේශ සහභාගීත්වයක් දක්නට ලැබිණි. දැනට එය 25% කි. විදේශීය සහභාගීත්වය ආකර්ෂණය කර ගැනීමට කොළඹ කොටස් හුවමාරුව සතුව ඇති සැලසුම් මොනවාද?
පසුගිය වර්ෂ 4 තුළ ඇති වූ දේශපාලන හා ආර්ථික ව්‍යාකූලත්වය හේතුවෙන් විදේශීය ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබේ. ණය ගෙවීම පැහැර හැරි රටක් ලෙස ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ද අවම ආයෝජන ප්‍රතිපාදනවලට හේතු වී ඇත. ජුනි මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීමට රජය සැලසුම් ප්‍රකාශ කර ඇති අතර, එය මෙම ණය ගෙවීම් පැහැර හැරීමේ තත්ත්වය ඉවත් කිරීමට සදහා වඩාත් උචිත වනු ඇත.

එය සාක්ෂාත් කර ගැනීමෙන් පසු, විදේශ ක්‍රියාකාරකම්හි වත්මන් මුදල් ගලා යෑම වන රුපියල් මිලියන 7,918.2 සිට ඉතිහාසයේ අප දැක ඇති යහපත්ම මට්ටම් කරා ආපසු ළඟා වනු ඇති බව අප විශ්වාස කරන්නෙමු.

අපි විවිධ ප්‍රවර්ධන වැඩසටහන් හරහා විදේශීය ආයෝජකයින් සමඟ අඛණ්ඩව සම්බන්ධ වී ඇති අතර ආයෝජන ඇල්මක් දැක්වියහැකි පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීමට විදේශ රටවලට ගිය රජයේ නියෝජිත කණ්ඩායමේ කොටස්කරුවකු ලෙස සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ ජාතික කොටස් හුවමාරුව ලෙස කොළඹ කොටස් හුවමාරුව නියෝජනය කිරීමට මට හැකි විය. කොළඹ කොටස් හුවමාරුව විසින් ඉන්දියාව, එක්සත් රාජධානිය සහ ඩුබායි යන රටවල ආයෝජක සමුළු පැවැත්වූ අතර, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිව්යෝර්ක් සහ ඩාවෝස් වෙත ගිය නියෝජිත කණ්ඩායමේද සාමාජිකයකු විය.

රට වෙනුවෙන් මෙම දුෂ්කර කාලවලදී විදේශීය ආයෝජකයින් සමඟ සම්බන්ධකම් පවත්වා ගැනීමට අපි සමත් වී ඇත. මෙම මුදල් ගලා ඒම සහ පිටතට ගලායාම ආයෝජන චක්‍රයේම කොටසක් බව ආයෝජනය කරන මහජනතාව තේරුම් ගත යුතුයි. විශාල ලෙස මුදල් පිටතට ගලා යෑම් අප අත්විඳ ඇති අතර එම සෘණ මූල්‍ය ගලනයන් වෙනුවට එය හාත්පසින්ම වෙනස් කරන්නා වූ අත්දකීම් අත්විඳ ඇති වර්ෂයන්ද අප පසු කර ඇත.

නැවත වරක් අපගේ වෙළඳපල කෙරෙහි උනන්දුව ඇති කිරීම සඳහා කලාපීය ආයෝජක සංසද පැවැත්වීමේ හැකියාව ගැන කොළඹ කොටස් හුවමාරුව අවධානය යොමු කර ඇත.

විදේශීය සහභාගීත්වය ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව සිදු කරන කාර්යයට අමතරව වෙළඳපල අතරමැදියන්ට ඔවුන්ගේම සංවාද සහ වැඩසටහන් මෙන්ම ඔවුන්ගේ විදේශීය ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට තවදුරටත් දායක වන අතර අපි එය අවංකවම දිරිමත් කරන්නෙමු.

Views: 0