ඉන්දියාවේ Airtel සමාගම Dialog Axiata PLC දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත දුරකතන සේවා සම්පාදන සමාගමක් වන Dialog Axiata PLC සමාගමේ දෙවන විශාලතම කොටස් හිමිකරුවා බවට ඉන්දියාවේ Bharti Airtel Limited සමාගම පත්ව ඇතැයි වාර්තා වෙයි.

Bharti Airtel Limited සමාගම සහ Dialog Axiata PLC සමාගම අතර පසුගිය අප්‍රේල් මාසයේදී ඇති කරගත් ඒකාබද්ධවීමට අදාළ එකඟාවයෙන් අනතුරුව මෙම තත්ත්වය උදා වී තිබේ.

මෙම එකඟතාවට අනුව Bharti Airtel Limitedහි පූර්ණ අනුබද්ධ සමාගමක් වන Bharti Airtel Lanka සමාගමේ කොටස් 100%ක්ම  Dialog Axiata PLC වෙත ලබා දී ඒ වෙනුවට Dialog Axiata PLC සමාගමේ කොටස් ලබා ගැනීමේ කොටස් හුවමාරු ගිවිසුමකට මෙම සමාගම් දෙක මෙලෙස එළැඹ තිබුණි.

ඒ අනුව Bharti Airtel Lanka තුළ Bharti Airtel Limited සමාගම සතුව තිබූ කොටස් 121,513,646,771ක් එනම් 100%ක ප්‍රතිශතයක් Dialog Axiata PLC වෙත ලබාදීම සිදු වුණු අතර, ඒ වෙනුවට Dialog Axiata PLC සමාගමෙහි කොටස් 952,694,689ක් Bharti Airtel Limited වෙත ලබාදීම සිදුවිය.

මෙම කොටස් ප්‍රමාණය Dialog Axiata PLC සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් ප්‍රමාණයෙන් 10.356%ක ප්‍රතිශතයකි.

මේ සමගින් Bharti Airtel Lanka සමාගමේ Bharti Airtel Limited හට අයිති සියලුම කොටස් Dialog Axiata PLC විසින් අවශෝෂණය කරගනු ලබන අතර, මෙම ක්‍රියාවලියෙන් පසු ඉතුරුවන සමාගම වන්නේ Dialog Axiata PLC සමාගමයි.

මේ අතර නව කොටස් නිකුත් කිරීම හරහා Bharti Airtel Limited වෙත Dialog Axiata PLC කොටස් ලබා දීම හේතුවෙන්, Dialog Axiata PLහි මැලේසියානු මව් සමාගමට අයිති Dialog Axiata PLCහි කොටස් ප්‍රමාණය 82.27% සිට 73.8% දක්වා පහළ වැටී තිබේ.

එසේම Dialog Axiata PLCහි දෙවන විශාලතම කොටස් හිමියාවන සේවක අර්ථසාධක අරමුදලේ කොටස් අයිතිය 2.88% සිට 2.58% දක්වා පහළ වැටෙමින් ඔවුන් තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා බවට පත්ව ඇතැයිද සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම ඒකාබද්ධ කිරීමේ අවස්ථාව සම්බන්ධයෙන් අදාළ නියාමන ආයතනවල අනුමැතිය අවශ්‍යව ඇතැයිද Dialog Axiata PLC සමාගම පවසයි.

Views: 0