WSO2 පිරිනැමූ ටෙස්ලා සයිබර්ට්‍රක් රථය ජර්මනියේ වෙසෙන පසිදු ජයවීර දිනා ගනී

ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන පසිදු ජයවීර සුප්‍රසිද්ධ ටෙස්ලා සයිබර්ට්‍රක් රථයක් ජයග්‍රහණය කිරිමට සමත්ව ඇතැයි වාර්තා වෙයි.

මෙරට ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන WSO2 මගින් පසුගියදා එක්සත් ජනපදයේදී පැවැත්වුණු WSO2CodeChallenge තරගාවලිය ජයගනිමින් පසිදු මෙම ත්‍යාගය දිනා ගෙන තිබේ.

මෙම තරගාවලියේ අවසන් තරගය පසුගිය මැයි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි හොලිවුඩ්හිදී පැවැත්වුණි.

පසුගිය පෙබරවාරි 14 වැනිදා ආරම්භ වුණු මෙම WSO2CodeChallenge තරගාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම මාර්තු 01 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා පැවැත්වුණි.

තරගකරුවන් විසින් WSO2 හි අභ්‍යන්තර සංවර්ධන වේදිකාව වන Choreo වැඩසටහන යොදා ගනිමින් ඇප් වැඩසටහනක් නිර්මාණය කිරීම මෙම අභියෝගය විය.

මෙහිදී තරගයේ ජයගන්නාට එක්සත් ජනපද ඩොලර් ලක්ෂයක් (රුපියල් කෝටි 3කට අධික මුදලක්) හෝ සුප්‍රසිද්ධ ටෙස්ලා සමාගම මගින් නිපදවූ නවතම සයිබර්ට්‍රක් රථයක් පිරිනමන බව ප්‍රකාශ කෙරී තිබුණි.

මෙලෙස ඉදිරිපත්වූ නිර්මාණ අතරින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයන්ගේ නම් මැයි  5-7 කාලයේදී ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව මැයි 09 වැනිදා හොලිවුඩයේදී පැවැත්වුණු WSO2CON2024 ඉසව්ව අතරවාරයේදී සිදුකළ දිනුම් ඇදීමකදී පළමු දිනුමේ  ජයග්‍රාහකයා තෝරා ගෙන තිබේ.

වෙළෙඳ පොළ වාර්තාවලට අනුව මේ වසර ආරම්භයේදී එක්සත් ජනපද ඩොලර් 81,895ක වටිනාකමක් ගත් ටෙස්ලා සයිබර්ට්‍රක් රථයක දැන් වටිනාකම ඩොලර් 101,985ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පළමු ජයග්‍රහණයට අමතරව තවත් ජයග්‍රාහකයන් 10 දෙනෙකු වෙත Macbook Pro පරිගණක ලබාදීමටත් WSO2 කටයුතු යොදා තිබේ.

Views: 0