බෝගම්බර බන්ධනාගාරය හෝටලයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි

මහනුවර පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුත් බෝගම්බර බන්ධනාගාරය සංචාරක ආකර්ෂණය දිනා ගන්නා හෝටල් පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා කටයුතු යොදන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා දැනටමත් ආයෝජකයෙකු ඉදිරිපත්ව ඇතැයි එම අමාත්‍යාංශය යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි.

එහිදී නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව පෞද්ගලික ආයෝජකයෙකු තෝරාගෙන තිබේ. ඊට අදාල ඇස්තමේන්තු සකස් කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සිදුවෙමින් පවතින බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී ඒකනායක මහතා පවසයි.

2014 වසරේ සිට බෝගම්බර බන්ධනාගාරයේ සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට යටතේ ක්‍රියාත්මක වෙයි. එහිදී එම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්‍රතිසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරේ.

යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය රැකගනිමින් බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සදහා විවෘත කිරීමත් සමගින් එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණු බවද ඒකනායක මහතා පවසයි.

මේ වන විටත් බන්ධනාගාර පවුර සහ ප්‍රධාන ගොඩනැගිල්ල හැරුණු විට අනෙකුත් භූමිය සංවර්ධනය සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව සඳහන් වෙයි.

බන්ධනාගාර රෝහල් ගොඩනැගිල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිටත් අවසන් කෙරී තිබේ. 2018 වන විට නාගරික සංවර්ධන අධිකාරිය බන්ධනාගාරය ඉදිරිපස කොටස හොඳින් සංරක්ෂණය කරන ලද පැරණි ගොඩනැගිල්ලක් සහිත උද්‍යානයක් ලෙසට ද සංවර්ධනය කර තිබේ.

බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය ෂොපින් මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාරය සහ සංචාරක හෝටලය ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතය.

එහිදී බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරමින් එය සංවර්ධනය කෙරෙන බව අධ්‍යක්ෂකවරයා පවසයි.

Views: 0