ඉෂාරගේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කෙන්යාවේ, ටැන්සානියාවේ සහ රුවන්ඩාවේ ‘ලිප්ටන් තේ‘ සමාගම් හතරක් මිලදී ගනී

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයෙහි උපායමාර්ගික ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (BIL) සමාගම කෙන්යාවේ, ටැන්සානියාවේ සහ රුවන්ඩාවේ පිහිටි සුප්‍රසිද්ධ ලිප්ටන් තේ (Lipton Teas and Infusions) සමාගමට අයත් තේ නිෂ්පාදන සමාගම් හතරක වැඩි කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම අද (07දා) කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මේ පිළිබඳව අනාවරණය කර තිබේ.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමෙහි පරිපාලිත සමාගමක් වන එක්සත් අරාබි එමීරයේ පිහිටි B Commodities ME FZE නම් සමාගමක් හරහා මෙම අත්පත් කරගැනීම සිදු කර ඇතැයි එම සමාගම පවසයි. පසුගිය මැයි 06 වැනිදා ඊට අදාළ එකඟතාවට පිවිසීම සිදුව තිබේ.

ඒ අනුව මෙහිදී කෙන්යාවේ පිහිටි Lipton Teas and Infusions Kenya PLC  සහ Limuru Tea PLC සමාමෙහි පිළිවෙලින් 98.56%ක සහ 51.99%ක කොටසක් එම සමාගම මගින් මිලදී ගෙන තිබේ.

එසේම ටැන්සානියාවේ පිහිටි Lipton Teas and Infusions Tanzania Limited සමාගමෙහි 100%ක කොටස් හිමිකාරීත්වයක්ද රුවන්ඩාවේ පිහිටි Lipton Teas and Infusions Rwanda Limited සමාගමෙහි 100%ක කොටස් හිමිකාරීත්වයක්ද මෙහිදී අත්පත් කරගැනීම සිදුව තිබේ.

මෙහිදී අදාළ සමාගම් අලෙවි කර ඇත්තේ එංගලන්තයේ සහ වේල්සයේ ස්ථාපිත Ekatera Holdeo UK Limited සහ නෙදර්ලන්තයේ  ස්ථාපිත Ekaterra Group Holdings  B.V හා Ekaterra Group Holdings 2 B.V යන සමාගම් මගිනි.

මෙම සමාගම් සියල්ල වෙතම අයත් තේ වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර 43,770ක් පමණ වෙයි. එහිදී මෙම වතුයායන්හි වාර්ෂික නිෂ්පාදන ධාරිතාව කිලෝග්‍රෑම් මිලියන 48ක් ලෙස ගණන් බලා තිබේ.

මෙහිදී අදාළ ගනුදෙනුව සම්පූර්ණ කිරීම සඳහා ඊට අදාළ නියාමන සහ අනෙකුත් බලධාරීන්ගේ අනුමැතිය අවශ්‍යව ඇතැයිද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සහ එහි උපායමාර්ගික ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (BIL) සමූහයෙහි හිමිකරුවා වන්නේ මෙරට ප්‍රකට ව්‍යපාරික ඉෂාර නානායක්කාර මහතාය.

අද වනවිට ලංකාවේ ප්‍රධානතම තේ නිෂ්පාදන සමාගම් සමූහයක් ලෙස සැලකෙන බ්‍රවුන්ස් ප්ලාන්ටේෂන්ස් සමාගම සිය කළමනාකරණය යටතේ වතුයායන් 46ක් පවත්වාගෙන යයි. එහිදී මතුරට ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ්, උඩපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම් ඒ අතරවෙයි.

මීට අමතරව බ්‍රවුන්ස් සමූහය Browns Plantations (Kenya) යන නමින් කෙන්යාව තුළත් සිය මෙහෙයුම් සිදු කරයි. මීට පෙර James Finlay (Kenya) ලෙස හැඳින්වුණු සමාගම 2023 වසරේදී මිලදී ගනිමින් බ්‍රවුන්ස් ඒ සඳහා අවතීර්ණ විය.

මේ අතර මෙම අත්පත් කරගැනීමත් සමගින්ම බ්‍රවුන්ස් සමූහය මගින් වාර්ෂිකව සිදු කරන තේ කොළ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 85කට අධික වනු ඇතැයිද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

බ්‍රවුන්ස් සමාගම වෙත මෙම අලෙවිය සිදු කළ Ekaterra සමාගම සුප්‍රසිද්ධ Unilever සමාගමට අයත්ව තිබූ සමාගමකි. 2022 වසරේදී CVC Capital සමාගම මගින් ඩොලර් බිලියන 5ක මුදලකට එම සමාගම අත්පත් කරගැනීම සිදු විය. අනතුරුව Ekaterra Tea සමාගම Lipton Teas and Infusions ලෙස සන්නාම වෙනස් කිරීමකට ලක් විය. එහි මූලස්තානය නෙදර්ලන්තයේ රොටේඩාම් හි පිහිටා තිබේ.

Views: 0