ඔස්ට්‍රේලියාව තුළ ශිෂ්‍ය වීසා සඳහා  පෙන්විය යුතු ඉතුරුම් ඉහළ නංවයි

ඔස්ට්‍රේලියාව තුළ අධ්‍යාපනය ලැබීම සඳහා අපේක්ෂාවෙන් පසුවන ජාත්‍යන්තර සිසුන්ට ඊට අදාළ වීසා ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ඉතුරුම්හි වටිනාකම ඉහළ නැංවීමට තීරණය කර තිබෙන බව එරට බලධාරීන් අද සඳහන් කළේය.

ඒ අනුව ලබන සිකුරාදා දිනයේ සිට අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාව වෙත පැමිණෙන ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710ක එනම් රුපියල් පනස් අට ලක්ෂ හැට හතර දහස් අටසිය හැත්තෑපහකට (5864857.72) ආසන්න මුදලක් තම ඉතුරුම් ගිණුම්හි පවතින බව පෙන්වීම අනිවාර්යය කෙරී ඇත.

මාස හතක කාලයක් ඇතුළතදී මෙම වටිනාමක් ඉහළ නැංවූ දෙවැනි අවස්ථාවද මෙයයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 24,505ක් එනම් රුපියල් පනස් ලක්ෂ විසි තුන් දහස් පන්සිය විසිපහකට ආසන්න අගයක් විය.

කොවිඩ්-19 වසංගතයත් සමගින් පැනවුණූ සංචරණ සීමා 2022 වසරේ සිට ලිහිල් කිරීමත් සමගින්ම ඉහළ යමින් පවතින සංක්‍රමණ සීමා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

එසේම අධ්‍යාපන ආයතන මගින් සිසුන් ව්‍යාජ ලෙස බඳවා ගැනීම වැළැක්වීම සඳහාද කටයුතු යෙදීමටද ඔස්ට්‍රේලියානු බලධාරීන් මෙහිදී පියවර ගෙන ඇතැයි සඳහන් වෙයි.

පසුගිය මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියානු රජය ගත් තීරණයකට අනුව එරට අධ්‍යාපනය ලැබීමට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සතුව ඉංග්‍රීසි භාෂා දැනුම අනිවාර්යය කෙරිණි.

Views: 0