ජෝන් කීල්ස් පදනමේ ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනට වසර 20 ක් සපිරේ

ශ්‍රී ලංකාවේ පාසල් දරුදැරියන්ගේ සහ තරුණ තරුණියන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා නැංවීමේ අරමුණින් 2004 වසරේදී ආරම්භ කළ ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන මේ වසරේදී 20 වන සංවත්සරය සමරයි.

සමාජයීය හා ආර්ථික වශයෙන් අභියෝගවලට මුහුණ දී සිටින පවුල්වල දරු දැරියන්ට සහ තරුණ තරුණියන්ට, වර්තමානයේ තරගකාරී ලොව තුළ වඩාත් ඉහළ තලයේ උසස් අධ්‍යාපන අවස්ථා සහ රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වන පරිදි ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම, තොරතුරු තාක්ෂණ දැනුම සහ වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන, ජෝන් කීල්ස් පදනමේ ‘අධ්‍යාපනය’ අංශය යටතේ ක්‍රියාත්මක වේ. ජාතික ප්‍රමුඛතාවන්ට සමගාමීව මෙම වැඩසටහන මේ වනවිට රටේ සියලුම පළාත්වල ක්‍රියාවට නංවා ඇත.

‘Gateway Language Centre’ සමග එක්ව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන මේ වනවිට බෙහෙවින් වැඩිදියුණු වී ඇති අතර, ප්‍රතිලාභීන් අවශ්‍යතා අනුව නව අංග රැසක්ද ඊට එක් වී තිබේ. 2004 වසරේදී වසර 2 ක EdExcel ඩිප්ලෝමා පාඨමාලාවක් ලෙස ආරම්භ වූ එය මේ වනවිට පදනම් පාඨමාලාවක්, පාසල් සිසු සිසුවියන් සඳහා පූර්ව සහ පශ්චාත් උසස් පෙළ වැඩසටහන්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අධ්‍යාපන කඳවුරු සහ ආබාධ සහිත පුද්ගලයන් සහ රැකියාවල නියුතු පුද්ගලයන් සඳහා විශේෂයෙන් සැලසුම් කළ වැඩසටහන් ආදී වශයෙන් පාඨමාලා රැසකින් සමන්විත වේ.

මේ අතරින් ප්‍රධානතම වැඩසටහන වන්නේ, නව යොවුන් වියේ පසුවන දරු දැරියන් වෙනුවෙන් හඳුන්වා දී ඇති “English for Teens” වැඩසටහන ය. සෑම වසරකදීම වයස අවුරුදු 12 ත් 14 ත් අතර දරුදැරියන් 800 කට වැඩි පිරිසක් මෙම පාඨමාලාව හදාරති.

තෝරාගත් රජයේ පාසල්වල විදුහල්පතිවරුන් විසින් මෙම පාඨමාලාව සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් නම්කරනු ලබන අතර, ඒ අතරින් මූලික පරීක්ෂණයකින් සමත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව හිමි වේ. වැඩසටහන තුළින් දරුවන් ලබාගන්නා දැනුම පරීක්ෂා කරනු ලබන්නේ, පාඨමාලාව අවසානයේ පවත්වනු ලබන පරීක්ෂණයකින් සහ English Day වැඩසටහන් මගිනි. මෙම පාඨමාලාවලදී ඉහළ දක්ෂතා දක්වන දරු දැරියන්ට උසස් පාඨමාලාවන්ට සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

“පසුගිය දශක දෙකක කාලය තුළ ජෝන් කීල්ස් පදනමේ ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන මෙතරම් ප්‍රගතියක් අත්පත් කරගෙන තිබීම සතුටට කරුණක්. රටේ විවිධ පළාත්වල දරු දැරියන් සහ තරුණ තරුණියන් 20,931 ක් දෙනෙකුගේ ජීවිත වඩාත් යහපත් කිරීමට මෙම වැඩසටහන සමත් වී තිබෙනවා. මෙහිදී අපට වැඩියෙන්ම සතුටු විය හැකි කරුණ වන්නේ, මෙම පාඨමාලා සාර්ථකව අවසන් කළ පුද්ගලයන්ට ආත්ම විශ්වාසයෙන් යුතුව, තමන්ට කැමති පරිදි තම විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ/හෝ රැකියා ජීවිතය සාර්ථක කරගැනීමට හැකි වී තිබීමයි.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවා ය.

“මා කුඩා කාලයේ ප්‍රසිද්ධියේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්නට බියෙන් සිටි දරුවෙක්. ජෝන් කීල්ස් පදනමේ ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනට සහභාගී වීමෙන් පසුව ඒ බිය දුරු වී ගියා. දැන් මට ආත්ම විශ්වාසයෙන් යුතුව ප්‍රසිද්ධියේ කතා කරන්නට පුළුවන්. මේ වැඩසටහන නිසා මට සමාජයීය කුසලතා සහ තත්ත්ව කළමනාකරණ කුසලතා වැඩිදියුණු කරගන්නට හැකි වුණා.  පාඨමාලාවේ ගුරුවරුන් සහ ජෝන් කීල්ස් පදනම අපට කණ්ඩායම් ලෙස එකතු වී වැඩ කරන්නට අවස්ථාව සලසා දුන්නා. එය මට මගේ හැකියාවන් වැඩිදියුණු කරගන්නට බෙහෙවින් උපකාරී වුණා.” මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පවත්වන ලද ඉංග්‍රීසි භාෂා කඳවුරට සහභාගී වූ නිරෝධ් ද සිල්වා පැවසී ය.

කාලීන අවශ්‍යතා අනුව සිය ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනට විවිධ නවාංග එක් කිරීමට ජෝන් කීල්ස් පදනම පියවර ගෙන තිබේ. ජෝන් කීල්ස් සමූහයට අයත් ව්‍යාපාරවල සැපයුම්කරුවන්ගේ සේවා තත්ත්වය සහ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් 2019 වසරේදී “Skill Into Progress” (SKIP) වැඩසටහන හඳුන්වා දෙන ලදි. එමෙන්ම හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම සඳහා “Cinnamon Youth Empowerment” වැඩසටහන ආරම්භ කෙරිණි.

Views: 0