LB Finance PLC සහ Multi Finance PLC ඒකාබද්ධ කිරීමට තීරණයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් දෙකක් වන LB Finance PLC (LFIN.N0000) සහ Multi Finance PLC (MFL.N0000) යන සමාගම් ඒකාබද්ධ කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සමාගම් දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තීරණය කර ඇතැයි පවසයි.

අද වනවිට Multi Finance PLC සමාගම LB Finance PLC සමාගමෙහි පරිපාලිත සමාගමක් ලෙස ක්‍රියා කරයි. LB Finance PLC සමාගම මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් මූල්‍ය සමාගමකි.

2022 වසරේ මාර්තු මාසයේදී LB Finance PLC සමාගම Multi Finance PLC සමාගම මගින් නිකුත් කර තිබූ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 22,500,106ක් මිලදී ගැනීමට ඉදිරිපත් වෙමින් එම සමාගම අත්පත් කරගැනීමට යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අවස්ථාව උදා විය.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ක්‍රියාත්මක කරන මෙරට මූල්‍ය අංශය ශක්තිමත් කිරීමේ සැලසුම යටතේ මෙම ඒකාබද්ධ වීම සිදු කිරීමට නියමිතව ඇතැයි සඳහන් වෙයි.

කෙසේ වෙතත් අදාළ ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවෙහි නියාමකයන්ගේ අනුමැතිය මෙන්ම සමාගම් දෙකෙහිම කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද අවශ්‍යව ඇතැයි එම සමාගම් පවසා සිටියි. මෙම ඒකාබද්ධ කිරීම සඳහා මහ බැංකුවෙහි මූලික අනුමැතිය දැනටමත් හිමිව තිබේ.

ඒ අනුව ඒ සඳහා වන අතිවිශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමටද එම සමාගම් දෙක තීරණය කර ඇති අතර, ඒ සඳහා විශේෂිත යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කෙරෙන බවත් සඳහන් වෙයි.

සමාගම් දෙකම පවසන ආකාරයට මෙම ඒකාබද්ධ කිරීමත් සමගින්ම Multi Finance PLC සමාගමෙහි කොටස් LB Finance PLC වෙත මාරු කිරීමක් සිදු නොවන බව පැවසෙයි. ඒ වෙනුවට LB Finance PLC සමාගම මගින් Multi Finance PLC සමාගමෙහි කොටස් හිමිකරුවන්ට, එක් කොටසක් සඳහා රුපියල් 4.50ක් බැගින් ගෙවීමට යෝජනා වී තිබේ.

2023 දෙසැම්බර් 31 වැනිදා වන විට Multi Finance PLC සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 41,195,281ක් එනම් 64.76%ක් LB Finance PLC වෙත හිමිව තිබේ. ඉතිරි 35.24%ක කොටස් ප්‍රතිශතය කොටස් හිමිකරුවන් 1032ක් අතරේ බෙදී ගොස් තිබේ.

Views: 0