SLIM Brand Excellence සම්මාන උළෙල 22 වැනි වරටත්

ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට සන්නාමයන්ගේ විශිෂ්ටත්වය ඇගයීමට ලක්කරනු ලබන SLIM Brand Excellence සම්මාන උත්සවය 22 වැනි වරටත් සංවිධානය කරන බව පවසයි.

මෙවර සම්මාන උත්වය ‘Logic Behind the Magic’ යන තේමා පාඨය යටතේ ඉදිරිපත් කෙරේ. ඊයේ දිනයේ කොළඹදී මෙම සම්මාන උත්සවය පිළිබඳ නිල නිවේදනය නිකුත් කෙරිණි. ‘ශක්තිමත් සන්නාමයන් නිර්මාණය කිරීමේදී නවෝත්පාදයන් සමඟ උපායශීලී ක්‍රමෝපායන් ද යොදා ගැනීමේ වැදගත්කම සමාජය වෙත රැගෙන යෑම’ මෙම නව තේමා පාඨයේ අරමුණයි.

මෙම උත්කර්ෂවත් අවස්ථාව සමඟ එක්ව සිටි ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සභාපති චින්තක පෙරේරා මහතා, “වර්තමානය වනවිට වඩාත් ඵලදායී සන්නාම කළමනාකාරීත්වයක් මඟින් සන්නාමයට සමාජය තුළින් ලැබෙන පක්ෂපාතීත්වය තීරණය කරනවා. එහිදී වෙනස්වීමට අනුකූලව පවතින සමාජ ආචාර ධර්ම ආරක්ෂා කළ යුතු බව අපි සෑමවිටම විශ්වාස කරනවා. 2023 වසර යනු විකුණුම් පමණක් නොව අත්දැකීම් සහ සබඳතා ගැන ද අවධානය යොමු කළ යුතු වසරක්. මෙරට වෙළෙඳපල තුළ ක්‍රියාත්මක වීමේදි අවශ්‍යතාව සපුරාලීමට ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳව අවබෝධය හා එම උරුමයන්ට ගෞරව කිරීම වැදගත් කරුණක් ලෙස සැළකිය හැකියි.” යනුවෙන් පැවසීය.

SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල මෙරට අලෙවිකරුවන්ගේ නිර්මාණශීලීත්වය සඳහා තරඟකාරී වේදිකාවකි. මෙම සම්මාන උළෙල මඟින් වෙළෙඳපල ජයග්‍රහණය කිරීමට සහ පාරිභෝගිකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකි ප්‍රබල උපාය මාර්ග සැකසීමට සහ ක්‍රියාත්මක කිරීමට ආයතනවලට උපකාර කරමින් ප්‍රධාන ආර්ථික බලවේගයක් ලෙස අලෙවිකරණය ඉහළ නැංවීම පිළිබඳව SLIM ආයතනය දක්වන දායකත්වය සහ එහි  ප්‍රයත්නය මැනවින් පිළිබිඹු වේ.

මෙහිදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) අවස්ථා හා තිරසාර ව්‍යාපෘති උප සභාපති ගයාන් පෙරේරා මහතා ”පවතින අස්ථාවර ව්‍යාපාරික පරිසරය තුළ සාර්ථක සන්නාම කළමනාකාරීත්වය හා ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාශීලී ප්‍රතිපත්ති සන්නාමයේ දිගුකාලීන පැවැත්ම කෙරෙහි බලපානු ලබන මූලික කරුණු ලෙස සැළකිය හැකියි. එමඟින් ඕනෑම තත්ත්වයක් තුළ වඩාත් ශක්තිමත්ව  අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව  තහවුරු වෙනවා. දශක දෙකක් පුරාවට ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මෙරට ව්‍යාපාරික සාර්ථකත්වයේ හොඳම උදාහරණයක් ලෙස සඳහන් කළ හැකියි.” යනුවෙන් පවසා සිටියේය.

මෙම සම්මාන උළෙලට  ප්‍රාථමික කාණ්ඩ පහක් සහ විශේෂ සම්මාන කාණ්ඩ 10ක් ඇතුළුව ඉදිරිපත් කිරීම් කළ හැකි කාණ්ඩ 15ක් අන්තර්ගත වන අතර එම විවිධ කාණ්ඩ යටතේ සන්නාම ඇතුළත් කළ හැකිය.

මෙහිදී අදහස් දැක්වූ SLIM Brand Excellence හි ව්‍යාපෘති සභාපති ඉනොක් පෙරේරා මහතා, ”මේ වසරේදී තරඟකාරී බව වැඩි වූවත් එමඟින් නව ඇගයුම් සම්මාන රැසක් පිරිනැමීමට අවස්ථාව උදා වී තිබෙනවා. ඒ අනුව සම්මාන එකතුවට ‘තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) කෙරෙහි වර්ධනය වන ආයතනයන් ඇගයීම’ වෙනුවෙන් මුල් වරට හඳුන්වා දෙන ලද ‘Green Accolade’  සම්මානය ද එකතු වී තිබෙනවා. ‘අපනයන සන්නාම සම්මානය’ සහ ‘SME දේශීය/අපනයන සන්නාම සම්මානය’ වෙනුවෙන් මෙවර ආයතන අතර ඉහළ තරඟයක් දක්නට ලැබෙනවා. ”

SLIM හි ප්‍රධාන විධායක නිලධාරී සනත් සේනානායක මහතා   මෙසේ සඳහන් කළේය. ”SLIM සන්නාම විශිෂ්ටත්වය යනු තවත් එක් සම්මානයක් පමණක්ම නොවෙයි. එය විශිෂ්ටත්වය ළඟා කර ගැනීම වෙනුවෙන් නොනැවතී අඛණ්ඩව කැපවීම පිළිබඳව පරමාදර්ශීය ඇඟයුමක් මෙන්ම පාරිභෝගික ආකර්ෂණය හා විශ්වාසය දිනාගනිමින් ව්‍යාපාර ක්ෂේත්‍රය පුරා ප්‍රතිරාවය නංවන නවෝත්පාදන සහ උපාය මාර්ග එකතු වන අවස්ථාවක් . මෙම සම්මාන උළෙලේ සෑම තරඟකරුවෙකුටම ඔවුන්ගේ පසුනොබසින දායකත්වය වෙනුවෙන් මගේ ප්‍රණාමය පිරිනමනවා.”

කීර්තිමත් සහ අත්දැකීම් සහිත පිළිගත් විනිසුරු මඩුල්ලක් විසින් සියලුම තරඟකරුවන් විනිශ්චය කරනු ලබන  අතර පළමුව සන්නාමයේ තත්ත්වය ලිඛිත ඉදිරිපත් කිරීම හරහා විනිශ්චය කරනු ලැබේ. සම්මාන පිරිනැමීමේදී  ශ්‍රී ලංකාවේ කීර්තිමත් අලෙවිකරණ විශේෂඥවරයෙක් වන දිවංගත මහාචාර්ය උදිත ලියනගේ විසින් හඳුන්වාදෙන ලද  සන්නාමයක ජයග්‍රහණවල මූලික අඩිතාලම ලෙස පිළිගනු ලබන ‘සන්නාමයේ මූලික අභිප්‍රාය, සන්නාමයේ අන්තර්ගතය සහ සන්නාමයේ කාර්ය සාධනය’ ආදී  ප්‍රමිතීන් සලකා බලනු ඇත.

”අභියෝග රැසක් මධ්‍යයේ වූවද ඇතැම් වෙළෙඳනාම දුෂ්කරතාවලට සාර්ථකව මුහුණ දී බාධක ජයගනිමින් නවෝත්පාදනයන් සමඟ උපාය මාර්ග එකතු කරමින් ඉදිරියට ගමන් කර තිබෙනවා. මුහුණ දීමට සිදුවුණු විපත්, නව අවස්ථාවන් බවට පත් කර ගනිමින් සහ අනෙකුත් පාර්ශවයන් ද දිරිමත් කරමින් විශිෂ්ටත්වය විදහා දක්වන එවැනි සුවිශේෂී සන්නාමයන් හඳුනාගෙන ඒ සඳහා ගෞරව ඇගයුම් පිරිනැමීමට අපි බලාපොරොත්තු වෙනවා.” මෙම සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වමින් 2023 SLIM Brand Excellence Awards හි ජූරියේ ප්‍රධානී හිමාලි මධුරසිංහ මහත්මිය එසේ ප්‍රකාශ කළාය.

Visits: 62