ශ්‍රී ලංකන් මිලදී ගන්න සමාගම් හයක් ආයෝජන යෝජනා ඉදිරිපත් කරලා

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා සමාගම් හයක් සිය සුදුසුකම් පිළිබඳව මූලික ඉල්ලීම් (RfQ – Request for Qualification) ඉදිරිපත් කර ඇතැයි මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අංශය පවසයි.

මෙහිදී ගුවන් සමාගම් දෙකක් සහ ආයෝජන සමාගම් තුනක් මෙන්ම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක්ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා සිය ආයෝජන යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මැලේසියානු ගුවන් සමාගමක් වන එයාර් ඒෂියා ගුවන් සමාගම (AirAsia Consuling Sdn. Bhd), මෙරට තුළ සිට ගුවන් මෙහෙයුම් සිදු කරන Fits Aviation (පෞද්) සමාගම ඒ අතර පිහිටි ගුවන් සමාගම් වෙයි.

එසේම Dharshaan Elite Investment Holding (පෞද්) සමාගම නම් ආයෝජන සමාගමත් ශ්‍රී ලංකන් මිලදී ගැනීමට යෝජනා ඉදිරිපත් කර තිබේ.

දකුණූ ඉන්දියාවේ පිහිටි නීති, ගිණුම්කරණ, පොත් තැබීම් සහ විගණන ක්‍රියාකාරකම්, බදු උපදේශන, වෙළෙඳ පොළ පර්යේෂණ සහ අනෙකුත් ව්‍යාපාර සහ කළමනාකරණ උපදේශන සමාගමක් වන sherisha technologies private limited සමාගමද මෙම සමාගම් අතර පවතී.

මේ අතර රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇති රාජ්‍ය ආයතන මිලදී ගැනීම සඳහා පිහිටුවා ඇති අරමුදලක් වන Treasure Republic Guardian Limited සමාගමද මෙලෙස ශ්‍රී ලංකන් මිලදී ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති තවත් අරමුදලකි.

මීට අමතරව කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගමද ශ්‍රීලංකන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා වන සිය සුදුසුකම් පිළිබඳව මූලික ඉල්ලීම් (RfQ – Request for Qualification) ඉදිරිපත් කර තිබේ. මෙරට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් හේලීස් සමූහය අද වනවිට එකිනෙකට වෙනස් ව්‍යාපාර රැසකටම සිය ආයෝජන සිදු කර තිබේ.

2023 ඔක්තෝබර් 31 වැනිදා ආරම්භ කෙරුණු ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහාවන  මෙම ආයෝජන යෝජනා කැඳවීම් සහ සුදුසුකම් සඳහා වන ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ කාලසීමාව ඊයේ (අප්‍රේල් 22) පස්වරු 2.00න් අවසන් විය.

මෙලෙස ඉදිරිපත් වුණු සුදුසුකම් පිළිබඳ ඉල්ලීම් පිළිබඳව සලකා බැලීම රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් 2023 ජුලිමාසයේදී කැබිනට් මණ්ඩලය මගින් අනුමත කළ විශේෂ උපදෙස් අනුව සිදු කරන බවත් සඳහන් වෙයි.

මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් අලෙවි කිරීමේ කටයුත්ත සම්බන්ධයෙන් උපදේශකයා ලෙස ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) කටයුතු කරන බවත් රජය වැඩිදුරටත් පවසයි.

Views: 0