නුවරඑළි‍යේ ස්ට්‍රෝබෙරි ගම්මානයේ වගා කිරිමට ඊජිප්තුවෙන් ගෙනා ස්ට්‍රෝබෙරි පැළ

නුවරඑළිය ප්‍රදේශයේ නිර්මාණය වන මෙරට ප්‍රථම ස්ට්‍රෝබෙරි ගම්මානයේ ගොවීන් හතළිස් දෙනකු සඳහා ඊජිප්තුවෙන් ගෙන්වන ලද අනර්ඝ තත්ත්වය ස්ට්‍රෝබෙරි පැළ, ඒ සඳහා අවශ්‍ය දියර පොහොර බෙදාදීම සහ එම පැළ සිටුවීම පසුගියදා සිදු කෙරී තිබේ.

නුවරඑළිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් බී.එච්.ඒ. දිල්හානි මහත්මිය හා නුවරඑළිය ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී ජයන්ත බාලසූරිය හා නුවරඑළිය ස්ට්‍රෝබෙරි ගම්මාන සුහුරු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ හා ප්‍රධාන වගා පුහුණුකරු සමන් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වී තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය හා අවට ප්‍රදේශයන්ගෙන් ගොවීන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා ගෙන  ඔවුන්ට නවීන තාක්ෂණය යොදා ගනිමින් එක් ගොවියකුට වර්ග අඩි 1000ක හරිතාගාරය බැගින්  හරිතාගාර වර්ග අඩි 40,000 ප්‍රමාණයක් නිර්මාණය කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම වගාව සඳහා අවශ්‍ය හරිතාගාර ජාත්‍යන්තර ප්‍රමිතිකරණයන්ට  අනුකූලව ගුණාත්මක බවින් ඉහළ තත්ත්වයකින් හා ඉස්තරම්  අමුද්‍රව්‍ය භාවිත කරමින් වගකීමක් සහිතව නිර්මාණය කරනු ලැබ ඇතැයි සඳහන් වෙයි.

එම හරිතාගාරයන්හි වහලයට යොදාගෙන ඇති යූ.වී පොලිතීනය හා ස්ට්‍රෝබෙරි පැළ සඳහා ජලය හා දියර පොහොර  සැපයීමේ බිංදු ජල සම්පාදන පද්ධතිය ඊශ්‍රායලයෙන්ද වට ආවරණය කිරීමට යොදාගෙන ඇති කෘමි ප්‍රතිරෝධී දැල තායිලන්තයෙන්ද ආනයනය කර තිබීම විශේෂත්වයක් ගනී.

ගොවීන් අතර බෙදා දුන්  ස්ට්‍රෝබෙරි පැළ තොගයේ අපේක්ෂිත ඵලදාව මසකට කිලෝග්‍රෑම් 1600-1800 ක් පමණ වෙයි. එහි පළමු අස්වැන්න පැළ සිටවූ දින සති 8-9 අතර කාලයේදී අපේක්ෂා කරයි. මව් පැලයෙන් හටගන්නා දාරක පැළ වර්ධනය කර ගැනීමෙන් මෙම ස්ට්‍රෝබෙරි වගාව වසර 3ක කාලයකට දිගු කාලීන ලෙස පවත්වාගෙන යා හැකි බවත් සඳහන් වෙයි.

වර්තමානයේ සාමාන්‍ය වෙළෙඳ පොළ වටිනාකමට අනුව පළමු ශ්‍රේණියේ  ස්ට්‍රෝබෙරි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 5000-6000ක පමණ වෙයි. ඒ අනුව මෙම වැඩසටහන තුළින් ගොවීන් 40දෙනාට මාසිකව රුපියල් මිලියන 8-10 ක ආදායමක් ලබා ගෙන රටේ ආර්ථික වර්ධනයට දායක කරවීමට අපේක්ෂා කරයි.

Views: 0