ලාෆ්ස් සභාපති වෑගපිටියගේ පුත් මිතිල වෑගපිටිය ලාෆ්ස් පවර් පීඑල්සී ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලාෆ්ස් පවර් පීඑල්සී සමාගමෙහි (LPL.X0000) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මිතිල අමල්ක වෑගපිටිය මහතා පත් කළ බව එම සමාගම පවසයි.

2024 මැයි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදුව තිබේ. මෙම පත් වීම සිදු වන අවස්ථාව වනවිට ඒ මහතා සතුව එම සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් පරිපාලිත සමාගමක් වන ලාෆ්ස් පවර් පීඑල්සී සමාගම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මෙහෙයුම් සිදු කරන සමාගමකි.

නව ප්‍රධාන විධායක නිලධාරී මිතිල වෑගපිටිය මහතා ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමූහයෙහි නිර්මාතෘවරයා මෙන්ම සභාපතිවරයාද වන ප්‍රකට ව්‍යාපාරික කේ.එච්.ඩබ්ලිව් වෑගපිටිය මහතාගේ වැඩිමහල් පුත්‍රයාද වෙයි.

බ්‍රිතාන්‍යයේ ඇස්ටොන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන මිතිල වෑගපිටිය මහතා මේ නවිට ලාෆ්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි විධායක අධ්‍යක්ෂවරයාද වෙයි.

මෙරට ප්‍රධානතම තොරතුරු තාක්ෂණික නිෂ්පාදන සමාගමක් වන POTENZA හි සමනිර්මාතෘවරයෙකුද වන මිතිල වෑගපිටිය මහතා, CERT Sri Lanka ආයතනයෙහි ලාබාලතම කමිටු සාමාජිකයාද වෙයි.

Views: 0