පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීමට මුදල් කාරක සභාවේ අනුමැතිය

පරාටේ නීතිය ලබන දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව අනුමැතිය ලබා දීමට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව පසුගියදා තීරණය කර තිබේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (30) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ සඳහා වන අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව දෙසැම්බර් 15න් පසු කාලසීමාව තුළ පරාටේ නීතියට යටත්වූවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ග සිතියමක් ලබාදීමටද මෙහිදී එම කාරක සභාව මගින් නිර්දේශ කර තිබේ.

එසේම පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනු දෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙසද නිර්දේශ කෙරී තිබේ.

ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ මෙම පරාටේ නීතිය ක්‍රියාත්මක වෙයි.  

එය දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මෙලෙස මුදල් කාරක සභාවේ අනුමතිය හිමි විය.

Views: 0