Alipay QR ගෙවීම් සක්‍රීය කරමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට නව මාවතක් විවර කරයි

ඒකාබද්ධ ලංකා QR යටතේ Alipay QR කේත ගෙවීමේ ක්‍රමය සක්‍රීය කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වෙමින් කොමර්ෂල් බැංකුව දේශීය ව්‍යාපාර සඳහා නව අවස්ථාවන් විවර කර දීමට සමත් වී ඇත.

මෙම ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස බිලියනයකට අධික Alipay e-wallet හිමියන්ට, ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට නිකුත් කර ඇති කොමර්ෂල් බැංකුවේ ලංකාපේ ඒකාබද්ධ QR කේතය ස්කෑන් කිරීම මඟින් ලෝකයේ ඕනෑම ස්ථානයක සිට තම ගනුදෙණු සිදු කිරීමේ හැකියාව උදා වී ඇත.

බැංකුව සිය සමස්ත ජාලයට නව QR යෙදවුම ලබාදීම සම්පූර්ණ කරන විට ව්‍යාපාරිකයින් 50,000කට අධික පිරිසකට Alipay QR ගෙවීම් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව බැංකුව පවසයි. එමෙන් ම POS උපාංග හිමි 28,000 පමණ වූ ව්‍යාපාරික ප්‍රජාවට දැනටමත් බැංකුව ඇමතීමෙන් Alipay QR  ගෙවීම් සක්‍රීය කරගැනීමට හැකියාව ඇත.

“මෙම හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශාල ඉදිරිගමනක් වන අතර ඔවුන්ට Alipay හි විභවයන් විවෘත කිරීමට සමත් වූ බැංකුව වීම පිළිබඳ ව අපි ආඩම්බර වෙමු” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා පැවසීය. එමෙන්ම මෙමඟින් ශ්‍රී ලංකාවට පැමිණෙන දහස් සංඛ්‍යාත සංචාරකයින්ට Alipay e-wallet භාවිතයෙන් තම ගණුදෙණු සිදු කිරීමට හැකියාව ලැබෙන බව ඒ මහතා තව දුරටත් පැවසීය.

ප්‍රමුඛ පෙළේ ඩිජිටල් ගෙවීම් සහ සේවා සපයන වේදිකාවක් ලෙස Alipay ක්‍රියාත්මක වෙයි. Alipay විසින් හවුල්කරුවන්ට සහ චීනයේ මිලියන 80කට අධික ව්‍යාපාරිකයන්ට බිලියනයකට අධික වූ චීන පාරිභෝගිකයන් සමඟ වෙහෙසකින් තොරව ගනුදෙණු කිරීමට පහසුකම් සලසා දී ඇත.

Views: 0