LOLC සැලසුම් කළ රුපියල් බිලියන 08ක ණයකර නිකුතුව අත්හැර දැමේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී (LOLC.N0000) සමාගම සැලසුම් කළ ණයකර නිකුතුව අත්හැර දැමෙන බව එම සමාගම පවසයි.

පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිදා සිදුකළ අනාවරණයකට අනුව එම සමාගම ලැයිස්තුගත, වර්ග කෙරූ, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ට, පිරිමුදවාගතහැකි බැඳුම්කර නිකුතුවක් සඳහා සූදානමින් සිටින බව සඳහන් කළේය.

කෙසේ වෙතත් වර්තමානයේදී පොළී අනුපාත සම්බන්ධයෙන් පවතින උච්චාවචන තත්ත්වයන් සහ වෙළෙඳ පොළ පිළිබඳ සමස්ත ස්වභාවය සලකමින් සමාගම මෙම ණයකර නිකුතුව සිදු නොකිරීමට තීරණය කළ බව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

සැලසුම් කළ මෙම ණයකර නිකුතුවේදී පළමු අවස්ථාව ලෙස ණයකර කොටස් මිලියන 50ක (50,000,000ක) ණයකර නිකුතුවක් සිදු කිරීමට නියමිතව තිබූ අතර, ඊට හිමිවන අධිඉල්ලුමත් සමගින්ම තවත් ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

සමාගමට අනුව නිකුත් කෙරෙන සමස්ත ණයකර කොටස් සංඛ්‍යාව මිලියන 80ක් ලෙස සටහන්ව ඇති අතර, සෑම ණයකර කොටසක්ම රුපියල් 100ක් බැගින් මිල කෙරී තිබේ. ඒ අනුව සමස්ත ණයකර නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 8ක් විය.

Views: 0