හැරීගේ ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් චීනය හා ඇති කරගත් ගිවිසුමක් අත්හිටුවා දමයි

එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැවිලි සමාගමක් වන ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම (ELPL.N0000) චීනයේ Dianhong International Limited සමගින් ඇති කරගෙන තිබූ ව්‍යාපාරික එකඟතාව අත්හැර දැමීමට තීරණය කළ බව පවසයි.

පසුගියදා මැයි 02 වැනිදා රැස් වුණු ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි අතිවිශේෂ මහා සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

2012 වසරේදී ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සහ Dianhong International Limited සමාගම අතර මෙම හවුල් ව්‍යාපාර එකඟාතාව ඇති වී තිබේ. මෙහිදී Elpitiya Dianhong Jin ya Tea Company (Pvt) Ltd. ලෙස සමාගමක්ද ස්ථාපිත කෙරී තිබේ.

මෙම එකඟතාව හරහා චීනයේ ඉහළ මට්ටමේ පාරිභෝගිකයන් ඉලක්ක කරගනිමින් අපනයනය මූලික කරගත් චීනයේ විශේෂිත තේ ඇල්පිටිය වතුයායේ වගා කිරීමක් සඳහා වන ගිවිසුමකට එළැඹ තිබේ. 2013 මාර්තු 07 වැනිදා ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, Dianhong International Limited සමාගම සහ Elpitiya Dianhong Jin ya Tea Company (Pvt) Ltd. යන සමාගම් අතර මෙම එකඟතාවට අත්සන් තැබීමසිදුව ඇත.

කෙසේ වෙතත් මෙම සමාගමේ මෙහෙයුම් 2016 වසරේ අප්‍රේල් මාසයේ සිට අත්හිටුවා ඇති අතර, ඊට හේතුව වී ඇත්තේ Dianhong International Limited සමාගම ශ්‍රී ලංකාවෙන් මෙම විශේෂිත තේ මිලදී ගැනීම නැවැත්වීමයි. චීනයවෙත ආනයනය කරන තේ සඳහා පනවා තිබූ සීමා සහ අමතර බදු ඊට හේතුව වී ඇතැයි සඳහන් වෙයි.

ඒ අනුව එම සමාගම සමගින් ඇති කරගත් මෙම කොටස්හවුල්කාරීත්ව එකඟාවයේ අඩංගු කරුණු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම Dianhong International Limited සමාගමෙන් ලිඛිතව කරුණු විමසා ඇති නමුත්, ඊට ප්‍රතිකාර දැක්වීමට එමසමාගම අපොහොසත්ව තිබේ.

මේ තත්ත්වයත් සමගින්ම 2013 මාර්තු 07 වැනිදා සමාගම් මගින් අත්සන් තැබුණු මෙම හවුල්කාරීත්ව එකඟතාව අත්හැර දැමීමට මෙලෙස තීරණයකළ බව ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

2023 දෙසැම්බර් 31 වැනිදා වනවිට ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 61.64%ක් හිමිව ඇත්තේ එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන්ස් මැනේජ්මන්ට් පීඑල්සී සමාගමටයි. එසේම මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට 21.43%ක කොටසක් හිමිය. එහි පොදු කොටස් හිමිකාරීත්වය 16.92%කි.

එයිට්කන් ස්පෙන්ස් සමූහය මෙරට ප්‍රකට ව්‍යපාරික හැරී ජයවර්ධන මහතාට අයත් සමාගම් සමූහයකි.

Views: 0