Hutch හිටපු CEO තිරුකුමාර් නඩරාසා සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමගමෙහි (SHL.N0000) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස තිරුකුමාර් නඩරාසා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.

2024 මැයි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. මෙහිදී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ඒ මහතා පත් කෙරී තිබේ.

මෙම පත් කිරීම සිදුවන අවස්ථාව වනවිට නඩරාසා මහතා සතුව සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වක් නොමැති බවත් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

තිරුකුමාර් නඩරාසා මහතා මෙම පත්වීම ලැබීමට පෙරාතුව ශ්‍රී ලංකාවේ හචිසන් ටෙලිකොම් (Hutch) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය. 2012 වසරේදී එම ධුරයට පත් වූ ඒ මහතා, 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී එම ධුරයෙන් විශ්‍රාම ගියේය.

එක්සත් රාජධානියේ ලෝග්බොරොග් තාක්ෂණික විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව උපාධියක් හිමි කරගෙන ඇති නඩරාසා මහතා, එක්සත් රාජධානියේ විදුලි ඉංජිනේරුවන්ගේ ආයතනයේ සහකාර සාමාජිකයෙකුද වෙයි.

1990 වසරේදී සිංගප්පූරු ටෙලිකොම් (Singtel) හා එක් වූ ඒ මහතා පසුව 1994 දී හොංකොංහි හචිසන් ටෙලිකොම් ඉන්ටර්නැෂනල් හා සම්බන්ධවී තිබේ. එහිදී ඒ මහතා ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, තායිලන්තය, වියෙට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල සේවය කර තිබේ.

2009 දී බහරේනයේ Bintel හි සේවයට යන නඩරාසා මහතා 2012 දී යළිත් හචිසන් සමාගම හා සම්බන්ධ වන්නේ හච් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙනි.

Views: 0