Softlogic Stockbrokers ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වුණු ‘StockGPT’ එළිදක්වයි

සොෆ්ට්ලොජික් Capital PLC හි පූර්ණ සේවා තැරැව්කාර අංශය වන සොෆ්ට්ලොජික් Stockbrokers විසින් StockGPT සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙරට කොටස් වෙළෙඳපොල සේවාවන් වෙත නව අරුතක් එක් කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස සොෆ්ට්ලොජික් සමූහයේ අභ්‍යන්තර තාක්ෂණික අංශය විසින් මෙම StockGPT නිර්මාණය කර ඇත.

Microsoft Azure OpenAI සේවාව ඇතුළු අති නවීන AI තාක්ෂණයන් භාවිත කරනු ලබන මෙය ආයෝජකයින්, මූල්‍ය විශ්ලේෂකයින් හා අරමුදල් කළමනාකරුවන් වෙත කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ලැයිස්තුගත සමාගම් පිළිබඳ යාවත්කාලීන හා නිවැරදි තොරතුරු සැණෙකින් ලබා ගැනීමේ අවස්ථාව හිමිකර දෙයි.

www.stockgpt.lk හරහා දැන් පිවිසීමේ පහසුකම ලබා දී ඇති StockGPT කොටස් වෙළෙඳපොලෙහි ලැයිස්තුගත සමාගම්වල වාර්ෂික වාර්තා, මූල්‍ය හා සංචාරක අංශයන්ට අදාළ වාර්තාවන්හි විශ්වසනීය හා ඍජු මූලාශ්‍ර දත්ත විශ්ලේෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇත.

ආයෝජනයන් සඳහා කඩිනම් තීරණ ගැනීමට හා කාර්යක්ෂමතාවයට හේතුවන වෙළෙඳපොල පර්යේෂණයන් සඳහා කොටස් තැරැව්කාර සමාගම් මත පමණක් විශ්වාසය තැබීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා කටයුතු කළ පාරිභෝගිකයින් මුහුණ දුන් මූලික අභියෝගයක් වූයේ තොරතුරුවල නොගැලපීමයි. කාලය හා සම්පත් සීමා වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන දේශීය හා විදේශීය ආයෝජකයින්ට පූර්ණ අවබෝධයක් ලබා ගැනීම දුෂ්කර විය. එම ගැටළුවලට විසඳුමක් ලෙස නිර්මාණය වූ StockGPT තුළින් කොටස් වෙළෙඳපොලෙහි ලැයිස්තුගත සමාගම්වලට අදාල තොරතුරු පහසුවෙන්, ඍජුවම ලබා ගැනීමට ආයෝජකයින්ට අවස්ථාව හිමි වේ.

StockGPT පරිශීලකයන්ට අවශ්‍ය ඕනෑම මොහොතක, ඕනෑම තැනක සිට ඉක්මණින් පිවිසීමේ අවස්ථාව හිමිකර දෙමින් ශ්‍රී ලාංකේය මූල්‍ය වෙළෙඳපොල තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සොෆ්ට්ලොජික් Stockbrokers හි අරමුණ වී ඇත. ඉදිරියේදී තවත් අන්තර්ගතයන් තුළින් වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති, කොටස් වෙළෙඳපොල වෙත සම්බන්ධ වන්නන්ට මෙන්ම ගනුදෙනුකරුවන්ට දැනුම ලබා දෙන කේන්ද්‍රස්ථානයක් ලෙස පෙන්වා දිය හැකි මෙම යෙදුමට මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොලෙහි සුවිසල් වෙනසක් සිදු කිරීමේ හැකියාව පවතී. සාම්ප්‍රදායික කොටස් තැරැව්කරුවන්ගෙන් ලබා ගන්නා තොරතුරුවල නොගැලපීම, ගතවන කාලය හා සීමාසහිත දැනුම වැනි ගැටළු නිරාකරණය කර දීම සඳහා AI වේදිකාව මත ගොඩනැගුණු StockGPT යොදා ගනු ලබයි. ආයෝජකයින් හට StockGPT තුළින් ඇසිය හැකි ප්‍රශ්න කිහිපයක් මෙහිදී දැක්විය හැකිය.

  • X සමාගමෙහි ප්‍රධාන ව්‍යාපාරික අංශ මොනවාද?
  • X සමාගමෙහි ස්ථාපිත සම්පූර්ණ ධාරිතාව කොපමණද?
  • X සමාගම 2022 වසරේදී හිමිකම් සඳහා කොපමණ මුදලක් ගෙවා තිබේද?
  • 2023 වසරේදී X සමාගම විසින් කොටසකට ගෙවා ඇති ලාභාංශ ප්‍රමාණය කොපමණද?
  • 2022 වසරේදී වෙළෙඳපොලෙහි හොඳම සංචාරක ප්‍රභවයන් 5 මොනවාද?

මෙම නවතම සේවාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් Stockbrokers හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ඩිහාන් දැදිගම මහතා “සාම්ප්‍රදායික කොටස් තැරැව්කරුවන්ගේ තොරතුරු පිළිබඳව පමණක් විශ්වාසය තැබීම හේතුවෙන් ආයෝජකයින් මුහුණ දෙන අභියෝගයන්ට විසඳුමක් ලෙස සුවිශේෂී StockGPT වැඩසටහන ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. වෙළෙඳපොල තුල සුවිසල් වෙනසක් ඇති කිරීමට සමත් වන මෙම වැඩසටහන හරහා ආයෝජකයින් වෙත විශ්වසනීය තොරතුරු ලබා දෙමින් විශිෂ්ට, කාර්යක්ෂම හා පරිපූර්ණ මූල්‍ය වෙළෙඳපොලක් නිර්මාණය කිරීම සඳහා අප කටයුතු කරනවා. මෙරට මූල්‍ය අංශයේ වර්ධනය හා නව්‍යකරණය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන Stockbrokers අද වන විට දැකිය හැකි විශිෂ්ට ආයෝජන පරිසරය තුල තමන්ගේ තරාතිරම කුමක් වුවත් සියලු පාර්ශවකරුවන්ට සාර්ථකත්වය සඳහා අවැසි සෑම මෙවලමක්ම මේ තුළින් සපයා ගත හැකියි.” යනුවෙන් සඳහන් කරන ලදී.

Visits: 0