රජය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමිකරුවන් අතර මූලික සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

ශ්‍රී ලංකාව නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය (ISB – International Sovereign Bonds) සම්බන්ධයෙන් එම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමිකරුවන් සහ රජය අතර මූලික සාකච්ඡා අවසන් වූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

අද (16දා) දිනයේදී නිවේදනයක් නිකුත් තරමින් මුදල් අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය. පසුගිය සති තුන පුරාවට ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සමඟ මෙම සාකච්ඡා පැවැත් වී තිබේ.

බාහිරට අනාවරණය නොවන ලෙස පැවති මෙම සාකච්ඡා සීමාකාරී සාකච්ඡා (restricted discussions) ලෙස හැඳින්වී තිබේ. මෙහිදී බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් 9 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් (Steering Committee) ඊට සහභාගී වී ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සාකච්ඡා සඳහා නීති සහ මූල්‍ය උපදේශකවරුන් ලෙස  Clifford Chance සහ Lazard යන සමාගම් එක් වූ අතර, බැඳුම්කර හිමියන්ගේ කමිටුව වෙනුවෙන් නීති සහ මූල්‍ය උපදේශකවරුන් ලෙස White and Case සහ Rothschild and Co. යන සමාගම් එක්ව සිට ඇත. ප්‍රතිව්‍යූහගතකරණය සඳහා සාකච්ඡා කෙරෙන සමස්ත බැඳුම්කරවලින් 50% කට වඩා වැඩි ප්‍රතිශතයකට මෙම කණ්ඩායම හිමිකම් කියනු ලබයි.

මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයට අනුව, දෙපාර්ශවය අතර පැවැති මෙම සාකච්ඡා ඵලදායී ආකාරයෙන් ගොඩනැගී තිබුණ ද ප්‍රතිව්‍යූහගත කිරීමේ කොන්දේසි සම්බන්ධයෙන් දෙපාර්ශවය එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වූ බව සඳහන් වෙයි.

තවද මෙම සීමා කරන ලද සාකච්ඡා සඳහා වෙන් කර තිබූ කාලසීමාව අවසන් වීමෙන් පසු එය නැවත වරක් දීර්ඝ කිරීමට ද බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිතයින් එකඟ වී නැති බවද එහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.

කෙසේවෙතත් දෙපාර්ශවයටම එකඟතාවයකට පැමිණිය හැකි පොදු පදනමක් ඇති කර ගැනීමට ඉදිරි සති කිහිපය තුළ දී කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

Visits: 0