කොම්බෑන්ක් ඩිජිටල්’ දැන් භාෂා තුනකින්

ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් භාවිතා වන ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ භාෂා තුනකින් සක්‍රීය වීමත් සමඟ එහි භාවිතය සැළකිය යුතු ලෙස තවත් ඉහළ යනු ඇතැයි බැංකුව විශ්වාස කරයි.

මෙම නවතම යාවත්කාලීන කිරීම නිවේදනය කරමින් බැංකුව පවසා සිටියේ ඩිජිටල් බැංකුකරණ වේදිකාවේ බහුභාෂා හැකියාව තුළින් ග්‍රාමීය ප්‍රදේශවල සහ සාම්ප්‍රදායික ගනුදෙනු සිදුවන අංශවල ඩිජිටල් බැංකුකරණය වේගවත් කිරීමට අපේක්ෂා කරන බවයි.

කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ඩිජිටල් බැංකුකරණය ප්‍රදීප් බන්දුවංශ මහතා, මෙම බහුභාෂා ක්‍රියාකාරීත්වය සමඟින් බැංකු භාවිතා නොකරන සහ බැංකු භාවිතය අඩු ගනුදෙනුකරුවන්ටත් ඩිජිටල් පරිවර්තනයේ ප්‍රතිලාභ ලබා දෙමින් මූල්‍ය සේවා ලබා දීමට ‘කොම්බෑන්ක් ඩිජිටල්’ උපකාර වනු ඇතැයි පැවසීය.

“මිලියන 1.2 ක් වූ පරිශීලකයන් සමඟ, ‘කොම්බෑන්ක් ඩිජිටල්’ මේ වන විටත් අපගේ තිරසර මාර්ග සිතියමෙහි සුවිශේෂී අංගයක් බවට පත් ව ඇති නමුත් මෙහි භාවිතයෙහි ජන කොටස් සහ භූගෝලීය වශයෙන් ද හිඩැස් පවතියි. මෙම ගැටලුවට විකල්පයක් ලෙස පරිශීලකයන්ට සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් ගනුදෙණු කිරීමට අවකාශය නිර්මාණය කර ඇත. එමෙන් ම මෙමඟින් ඇතැම් ගනුදෙනුකරුවන් සඳහා භාවිතය පහසු කරන අතර එමඟින් විශාල සංඛ්‍යාවක් මෙම ඩිජිටල් වේදිකාවේ ලියාපදිංචි වීමට දිරිමත් වනු ඇත,” යැයි ද බන්දුවංශ මහතා තව දුරටත් අදහස් දැක්වීය. 

සියලු ම මාර්ගගත සහ ජංගම බැංකු නාලිකා තනි සර්වර් නාලිකා වේදිකාවක් මත ඒකාබද්ධ කරන, ‘කොම්බෑන්ක් ඩිජිටල්’ ප්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් සහ iOS” Android සහ Huawei යන ජංගම යෙදුම් තුන හරහා ක්‍රියාත්මක වෙයි. එමෙන් ම ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක, ටැබ් සහ ස්මාර්ට් ජංගම දුරකථන වැනි සියලු උපාංග හරහා මෙම ඩිජිටල් වේදිකාවට ප්‍රවේශ වීමේ හැකියාව සක්‍රීය කර ඇත.

Visits: 0