සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාව විශාලතම රාජ්‍ය නොවන සංවිධානය ලෙස රට පුරා ව්‍යාප්තව ඇති සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන ඒ.ටී. ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි ඒ මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් කරයි. මිය යන විට 92 හැවිරිදි වියේ පසු වුණු ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.

ආචාර්ය ඒ.ටී. ආරියරත්න නිර්මාතෘ සහ සම්මානිත සභාපති ධූරය දැරූ ශ්‍රී ලංකාවේ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සියල්ලන්ගේම උදාව සඳහා ශ්‍රමය, චින්තනය සහ ශක්තිය බෙදාගැනීමේ සංකල්පය මත පදනම් වූ බිම් මට්ටමේ මානුෂීය සංවිධානයකි. වසර ගණනාවක් පුරා සර්වෝදය නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙමින් 1958 සිට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇත.

1931 දී දකුණු ලකෙහි උපත ලද ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලැබීය. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සිය ගුරු වෘත්තිය ආරම්භ කළ අතර, එම කාලසීමාවේදී ඔහු පළමු ශ්‍රමදාන කඳවුර අරඹමින්, සර්වෝදය ශ්‍රමදාන ව්‍යපාරයේ ආරම්භය සනිටුහන් කළේය.

වසර හැට තුනකටත් වැඩි කාලයක් සර්වෝදය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස සිය සේවය අඛණ්ඩව කරගෙන යන අතර ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ එහි ජනතාව වෙනුවෙන් කළ කැපවීම අගයන ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් ලබා ඇත.

ඔහු 2007 දී ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතින් ද, 1969 දී ප්‍රජා නායකත්වය සඳහා රැමන් මැග්සේසේ සම්මානය (පිලිපීනය), 1982 දී සාමය හා මානව යහපැවැත්ම සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් බෝඩොයින් රාජ්‍ය සම්මානයද (බෙල්ජියම), 1992 නිවානෝ සාම ත්‍යාගය (ජපානය) සහ 1996 දී මහත්මා ගාන්ධි සාම ත්‍යාගය (ඉන්දියාව) ඒ අතර වෙයි.

මෙම සර්වෝදය ව්‍යාපාරය අද වනවිට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී, සුවසෙත සේවා සමාජය, ශාන්ති සේනා, විශ්ව නිකේතන, සර්වෝදය ෆියුෂන් ඇතුළු ආයතන රැසකින් සමන්විත වෙයි.

Visits: 0