ඇඹිලිපිටිය කඩදාසි කම්හල KSPA Paper නමින් යළිත් මෙහෙයුම් අරඹයි

ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම කඩදාසි කම්හල ලෙස 1978 වසරේදී විවෘත කෙරුණු ඇඹිලිපිටිය කඩදාසි කම්හල KSPA Paper නමින් යළිත් මෙහෙයුම් ඇරඹීම අද දිනයේදී සිදු විය. සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය සංවිධානය වී තිබුණි.

මෙරට තුළ ක්‍රියාත්මක ටයර් නිෂ්පාදනය, සීනි නිෂ්පාදනය, කොරුගේටඩ් ඇසුරුම් නිෂ්පාදනය සහ ඇගලුම් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගම් සමූහයක් වන Anunine (පෞද්) සමාගම, රජයට අයත් සීමාසහිත ජාතික කඩදාසි සමාගම සමගින් ඇති කරගත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් (PPP) යටතේ මෙම කර්මාන්තශාලාව යළිත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

1978 වසරේදී ආරම්භ කෙරුණු ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාවේ මෙහෙයුම් 2003 වසරේ සිට අත්හිටුවීම සිදු විය. ඒ වනවිටත් දහස් ගණනක සේවකයන් පිරිසක් එහි සේවයේ යෙදෙමින් සිටි අතර, ඔවුන් සියලු දෙනාගේම රැකියා අහිමි විය. පසුව 2011 දී ලැබුණු ආයෝජනයක්ද සමගින් එහි මෙහෙයුම් යළි ආරම්භ කෙරුණු අතර, 2012 දී නැවතත් එය වසා දැමුණි.

ඉන් වසර හතරකට පසුව 2016 දී මෙම කර්මාන්තශාලාව සතුව පැවැති ණය මුදල ගෙවා දමමින් එම කර්මාන්තශාලාව මිලදී ගැනීමට Anunine (පෞද්) සමාගමේ සභාපතිවරයා වන අනුරත් අබේරත්න කටයුතු යොදා තිබේ. ඉන් අනතුරුව 2022 දී සීමාසහිත ජාතික කඩදාසි සමාගම සමගින් ඇති කරගත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය අනුව මෙම කර්මාන්තශාලාව තුළ කොරුගේටඩ් ඇසුරුම් පෙට්ටි ව්‍යාපාරයක් ඇරඹී තිබේ.

Visits: 0