වුහාන් නුවරට ගිය ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලයට සභාපති අශෝක් පතිරගේ ස්තූතිය පුද කරයි

වුහාන් නුවරට ගිය ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලයට සභාපති අශෝක් පතිරගේ ස්තූතිය පුද කරයි

චීනය තුළ ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් එරට වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් දායක වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 16 දෙනාට සිය ස්තූතිය පුද කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

“කොරෝනා වෛරසය හේතුවෙන් දැනට හුදෙකලා කර ඇති වුහාන් නගරයට යාම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අපගේ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් 16 දෙනාගේ පරාර්ථකාමී මෙහෙවර පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලු සාමාජිකයන් අතිශය ආඩම්බරයට පත්වෙනවා. ගුවන් නියමුවන් ඇතුළු එම කාර්ය මණ්ඩලය තමන්ගේ සාමාන්‍ය රාජකාරි මට්ටම ඉක්මවා යමින් නැවතත් රට වෙනුවෙන් තම වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට ජාතික ගුවන් සේවය ලෙස පියවර ගෙන තිබෙනවා.” හෙතෙම පවසා සිටියි.

UL 1423 දරණ මෙම ගුවන් යානය පසුගිය ජනවාරි 31 වැනිදා (සිකුරාදා) මෙරටින් පිටත්ව ගොස් වුහාන් ගුවන් තොටුපොළේ සිට මෙම ශ්‍රී ලාංකික පිරිස රැගෙන යළිත් විරාමයකින් තොරව දිගු ගුවන් ගමනක් නිමා කරමින් පෙබරවාරි 01 වැනිදා (සෙනසුරාදා) උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට සමත් විය. 

අනතුරුව සිසුන් සියලු දෙනාම ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සෞඛ්‍ය බලධාරීන් හා හමුදා අංශ ඇතුළු අදාළ අංශ වෙත භාර කර තිබේ. එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවද සිය ජීව වෛද්‍ය ආධාරක කණ්ඩායම මත්තල ගුවන් තොටුපොළට එවමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අවශ්‍ය සියලු පහසුකම් සැලසීම සහ සහයෝගය ලබා දී ඇත.

මේ අතර එම ගුවන් යානය මගින් මෙරටට රැගෙන ආ මගීන් 33 දෙනා අතර වැඩිහිටි පිරිමි පුද්ගලයන් 13ක්, කාන්තාවන් 16ක් සහ කුඩා දරුවන් සිව් දෙනෙකු සිටින බව යුද හමුදාව පවසා සිටියි. ඔවුන් සියලු දෙනාම මේ වනවිට දියතලාව යුද හමුදා කඳවුරේ පිහිටුවා ඇති විශේෂිත මධ්‍යස්ථානය වෙත ආරක්ෂිත බස් රථයක් මගින් රැගෙන ගොස් ඇති බවත් පැවසෙයි. ඔවුන් සති දෙකක කාලයක් එහි රඳවා තැබේ.

එසේම මෙම පිරිස රැගෙන ආ UL 1423 දරණ ගුවන් යානය විශේෂිත නිරෝධායන කටයුත්තක් සඳහා යොමු කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. ඒ අනුව එම යානය දින කිහිපයක් යන තුරු සාමාන්‍ය මගී ගමන් සඳහා යොදා නොගැනීමටත් තීරණය වී තිබේ. 

මෙම මෙහෙයුම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්, චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, චීන රජය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාතයාංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන හා විශේෂ නිලධාරීන් රැසක් තම උපරිම දායකත්වය ලබාදුන් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

මෙම ක්‍රියාන්විතය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වත්මන් සභාපති අශෝක් පතිරගේ මහතා, ස්වාභාවික හෝ ත්‍රස්තවාදී හෝ කුමන ආපදා අවස්ථාවකදී හෝ වේවා ජාතික ගුවන් සේවය අපේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බව පවසා සිටියි. එසේම කුමන අභියෝගයක් යටතේ වුවද එම ජාතික වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට අප සැමවිටම කටයුතු කරන බවද ඔහු සඳහන් කරයි.

“ඒ වගේම ගුවන් තොටුපොළේදී මෙම ගුවන් මගීන් හැසිරවීමට දායක වූ අපගේ ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයට මෙන්ම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී දිනපතා චීනයේ සිට පැමිණෙන මගීන් හා භාණ්ඩ හසුරුවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ටත්, වාණිජ කණ්ඩායම, ගුවන් යානා මෙහෙයුම්, ගුවන් යානා අභ්‍යන්තර සේවා, වෛද්‍ය මධ්‍යස්ථානය, කැන්ටන් කාර්යාලයේ සේවකයින් හා ඉංජිනේරු අංශය යන සෑම අංශයකම සේවක මහත්ම මහත්මීන්ට කෘතවේදීත්වය දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්නවා.” යනුවෙන් ශ්‍රී ලංකන් සභාපති අශෝක් පතිරගේ පවසා සිටියි. 

Visits: 35

Leave a Reply

Your email address will not be published. Required fields are marked *