2020 දී ඩොලර් බිලියන 18.5ක අපනයන ආදායම් ඉලක්කයක්

2020 දී ඩොලර් බිලියන 18.5ක අපනයන ආදායම් ඉලක්කයක්

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වසර 2020 දී රුපියල් බිලියන 18.5ක් විය යුතු බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එහිදී ඩොලර් බිලියන 13.5ක ආදායමක් භාණ්ඩ අපනයනය හරහාද, ඩොලර් බිලියන 5ක ආදායමක් සේවා අපනයනය හරහාද ලැබීම ඉලක්කය බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව, මෙම තත්ත්වය ළගා කරගැනීම සඳහා මූලිකවම ශ්‍රී ලංකාව අපනයනය ජාතික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගැනීම අත්‍යවශ්‍ය බව අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා පවසයි.

මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන සුභසිංහ මහතා නව රජය බලයට පත්වීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් මාසයේදී අපනයන සංවර්ධන මණ්ඩල සභාපතිවරයා ලෙස පත් කෙරිණි. ඔහු එම ධුරයේ කටයුතු භාරගෙන ගත වුණු දින කිහිපයේදී මෙරට අපනයන ක්ෂේත්‍ර හා සම්බන්ධ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් හමුවී සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමටද පියවර ගත්තේය.

මෙහිදී විශේෂයෙන්ම කලාපයේ සෙසු රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවේ අපනයනයන්හි ක්‍රියාකාරීත්වය අසතුටුදායක බව ඔහුගේ අදහසයි. එසේම ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ පැස පසුගිය වසර 40ක කාලය පුරා කිසිදු වෙනස්වීමකට ලක්ව නොමැති බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙයි.

“ශ්‍රී ලංකාව අපනයන සඳහා ජාතික ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතුයි. අපනයනවල වර්ධනයක් නැතුව අපේ රටට සංවර්ධනය වෙන්න බැහැ. මම පාසැල් යන කාලේ අපේ රට අපනයන කරපු දේවල්ම තමයි තාමත් අපනයනය කරන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන කරන්න අපි හැමෝටම ලොකු වගකීමක් තිබෙනවා. එය මගේ වගේම මගේ ආයතනයේ සියලු දෙනාගේම වගකීමක්.”

මෙහිදී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපනයනයන්හි අගය වර්ධනය විය යුතු බව පෙන්වා දෙන සභාපතිවරයා, දීර්ඝ සහ මැදිකාලීන වශයෙන් එම අගය අවම වශයෙන් 30%ක් දක්වා වර්ධනය විය යුතු බවද පෙන්වා දෙයි. එහිදී මේ තත්ත්වය ළගා කරගැනීම සඳහා සියලුම රාජ්‍ය ආයතන සහාය ලබාදිය යුතු බවත් මෙම අපනයන වර්ධනය කරගැනීම වගකීමක් ලෙස ගත යුතු බවත් ඔහු පවසයි.

“රජයේ සෑම සේවකයෙකුම මේ අපනයන කාර්යයට සම්බන්ධවෙලා එය සංවර්ධනය කරගන්න සහාය ලබා දෙන්න ඕනේ. එය තනි ආයතනයකින් පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.”

ඒ අනුව වසර 2020 අපනයන ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම යටතේ පවතින ක්ෂේත්‍ර හයක අපනයන සංවර්ධනය කරගැනීමට බලාපොරොත්තුවන බවද සභාපතිවරයා පවසයි. එසේම අනාගත අපනයනකරුවන් බිහි කරගැනීමද වැදගත් බව ඔහු පෙන්වා දෙයි. 

මීට අමතරව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සමගින් පවත්වාගෙන යන මිත්‍රශීලී සබඳතාව හරහා මෙරටට තවදුරටත් අපනයනය ඉලක්ක කරගත් ආයෝජකයන් ආකර්ශණය කර ගැනීමටද කටයුතු යොදන බව අපනයන සංවර්ධන මණ්ඩල සභාපතිවරයා සඳහන් කරයි. 

“මේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩසටහන් රජයේ ප්‍රධාන ප්‍රතිපත්ති තුනකට අනුව පෙළගැසේවි. ඉන් පළමුවැන්න මිත්‍රශීලී නොබැඳි විදේශ ප්‍රතිපත්තියයි. දෙවැන්න තාක්ෂණය පදනම් කරගත් සමාජයක් බිහි කිරීම සහ තෙවැන්න ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක් වෙත යාමයි. හෙතෙම පවසයි.

මීට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය හා අගය එකතු කිරීම කෙරෙහිද අපනයන සංවර්ධන මණ්ඩලය ඉදිරි වසරේදී වැඩි අවධානය යොමු කරනු ඇතැයිද අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා පවසා සිටියි.

2019 වසරේදී මෙරට සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 16.1ක් ලෙස සටහන් වන අතර, ඉන් භාණ්ඩ අපනයනය හරහා ලැබුණු ආදායම ඩොලර් බිලියන 11.9ක් ලෙසත් සේවා අපනයනයේ ආදායම ඩොලර් බිලියන 4.2ක් ලෙසත් සටහන්ව තිබේ.

Views: 70

Leave a Reply

Your email address will not be published. Required fields are marked *