අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ පසු බැසීමක

අද දිනය තුළදී කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු යම් පසු බැසීමක් පෙන්නුම් කළ බව එහි දත්ත වාර්තා පවසයි.

ඒ අනුව, අද දිනය නිමා වන විට සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 127.25 කින් පහළට වැටුණු අතර, එය ඊයේ දිනයට සාපේක්ෂව 2.11%ක පහළ බැසීමක් ලෙසත් සඳහන් වෙයි. 

මේ තත්ත්වයත් සමගම අද දිනය අවසන් වන විට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5,898.84ක් ලෙස සටහන් වී තිබුණි.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) දර්ශකයද අද දිනය තුළ ඒකක 75.54 කින් පහළට වැටීමක් සිදු විය. එය ඊයේ දිනයට සාපේක්ෂව 2.64%ක පහළ බැසීමක් ලෙස සඳහන් වී තිබේ. 

මේ සමගම අද දිනයේ ගනුදෙනු අවසන් වනවිට එම දර්ශකය ඒකක 2,782.45ක් ලෙස සටහන්ව තිබුණි. 

අද දිනය අවසන් වනවිට ගනුදෙනු වූ සම්පූර්ණ කොටස් ප්‍රමාණය 50,444,093ක් ලෙස සටහන්ව ඇති අතර දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 624ක් ලෙස සටහන් විය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව මෙරට කොටස් වෙළඳ පොළ මෙලෙස ඒකක 6,000ට වඩා අඩු ප්‍රමාණයක් දක්වා පසු බැසීමට ලක් වුණු ප්‍රථම අවස්ථාව ලෙසටද මෙය වාර්තා වෙයි. 

යම් ලෙසකින් ඊයේ රාත්‍රියේදී ඉරානය, ඉරාකයේ පිහිටි එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු දෙකක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරිමත් සමග මැදපෙරදිග කලාපයේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය මෙලෙස කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු වෙත යම් බලපෑමක් එල්ල කර ඇති බවට ඇතැම් පිරිසකගේ අදහස වී තිබේ. 

මේ පිළිබඳව ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශී ලංකා’ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙවැනි පසු බැසීමක් සඳහා මැදපෙරදිග කලාපයේ ආතති තත්ත්වයේ බලපෑම ඉතාමත් සීමිත බවයි. 

ඒ සම්බන්ධ පැහැදිලිතාවක් ලබා ගැනීම සඳහා ඉදිරි දින දෙකෙහිදී කොළඹ කොටස් වෙළෙඳ පොල ගනුදෙනු සිදුවන ආකාරය විමසීම වැදගත් බවද ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ඉරානයේ මෙම පහරදීමත් සමගම ආසියානු කලාපයේ කොටස් වෙළඳ පොළ කිහිපයක්ම අද දිනයේ පසු බැසීමට ලක් විය.  

එහිදී ජපානයේ Nikki225 දර්ශකය ඒකක 2%කින්ද, දකුණු කොරියාවේ Kospi දර්ශකය 1.11%කින්ද පහළ වැටුණි. මීට අමතරව ඔස්ට්‍රේලියාව, චීනය, සිංගප්පූරුව, හොංකොං සහ ඉන්දියාවේ කොටස් වෙළෙඳ පොළද යම් පසු බැසීමක් පෙන්නුම් කර තිබුණි.

Visits: 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *