මැද මුලන නඩුවේ හයවැනි විත්තිකරුට ප්‍රාදේශීය සංවර්ධන බැංකු සභාපති ධුරය…

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස දේවගේ මහින්ද සාලිය මහතා පසුගියදා සිය ධුරයේ වැඩ භාර ගත්තේය. 

කැලණිය වෙදමුල්ලේ පිහිටි එම බැංකුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මෙම වැඩ භාර ගැනීම සිදුව ඇතැයි එම බැංකුව පවසයි. 

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතා ඇතුළුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළුව එහි කළමනාකාරීත්වයේ පිරිසක්ද සහභාගි වී තිබේ.

කැලණිය විශ්විවද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධියක් හිමි කරගෙන ඇති මහින්ද සාලිය මහතා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකුද වෙයි. 

ඔහු මූල්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය, සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ අත්දැකීම් සපිරි පුද්ගලයෙකු බවද බැංකුව පවසයි. එසේම වාර්ෂික රාජ්‍ය අයවැය සම්පාදන සඳහාද මහින්ද සාලිය මහතා දායකත්වය ලබා දී ඇත. 

සාලිය මහතා මීට පෙර රජරට සංවර්ධන බැංකුව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, රක්නා ලංකා ආරක්ෂා සමාගම, ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, ටවර්හෝල් රඟහල පදනම, සැලසිනේ රූපවාහිනි ආයතනය ඇතුළුව තවත් රාජ්‍ය ආයතන කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

කෙසේ වෙතත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී රජයේ මුදල් රුපියල් මිලියන 38ක් වැය කරමින් වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් බවට පත් වී අධි චෝදනා ලැබූ පිරිස අතර දේවගේ මහින්ද සාලිය මහතාද විය. 

ඒ වනවිට ඔහු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

ඔහුට අමතරව එම සංස්ථාවේ එවකට හිටපු සභාපති එල්. ප්‍රසාද් සිල්වා, සාමාන්‍යාධිකාරී බී. උදුලාවතී කමලදාස, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් වන සුදම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, මහින්ද සාලිය, මල්ලිකා කුමාරි සේනාධීර අයවලුන්ට එරෙහිව මෙම නඩුවේදී අධිචෝදනා ගොනු කර තිබුණි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව ඔහු අදාළ නඩුවේ චෝදනාවලින් සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කෙරැණු අතර විත්තිකරැවන්ද නිදහස් විය.

Visits: 16

Leave a Reply

Your email address will not be published. Required fields are marked *