මහ කන්නයේදී රජයෙන් වී කිලෝවකට රුපියල් 50ක අවම මිලක්

මහ කන්නයේදී රජයෙන් වී කිලෝවකට රුපියල් 50ක අවම මිලක් 

මහකන්නයේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 50ක අවම මුදලකට මිලදී ගැනීමට රජය කටයුතු යොදා ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයකින් පවසයි. එහිදී ගොවියාට විශේෂ වරප්‍රසාදයක් ලබා දෙමින් ප්‍රථම වරට තෙතමනයක් සහිත වී මිලදී ගැනීම සඳහාද රජය පියවර ගෙන ඇත. 

වී අලෙවි මණ්ඩලය හරහා මහ කන්නයේ වී මිලදී ගැනීම පසුගිය ජනවාරි 27 වැනිදා සිට ආරම්භ විය. 

“පසුගිය වසර වල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38කට හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41කට මිලදී ගත් අතර, මෙවර සියලුම වර්ගයේ වී සඳහා ඉහළ මිලක් ලබා දෙමින් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50කට රජය විසින් මිලදී ගනු ලැබේ.” නිවේදනයේ සඳහන් වෙයි.

එසේම මීට පෙර කන්නවලදී වී මිලදී ගැනීම සිදු කෙරුණේ තෙතමනය 14%ක් හෝ ඊට වඩා තෙතමනට අඩු වී පමණක් බවත්, මේ අවස්ථාවේදී එම තෙතමනයේ උපරිම සීමාව 22%ක් දක්වා ඉහළ නංවා ඇතැයිද රජය සඳහන් කර සිටියි.

මෙහිදී ගොවීන්ට වඩාත් පහසුවෙන් වී රජය වෙත ලබා දීම සඳහා ක්‍රම දෙකකට වී මිලදී ගැනීම සිදු කරයි.

  1. වී අලෙවි මණ්ඩලය හරහා උපරිම තෙතමනය 14%කින් යුත් ප්‍රමිතියෙන් යුත් වී මිලට ගන්නා අතර, එම වී සඳහා කිලෝග්‍රෑම් එකකට රුපියල් 50ක් ගොවීන්ට ලබා දෙනු ඇත.
  2. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්  හිමියන් සහ සමූපාකාර සමිති හරහා ප්‍රථම වරට තෙතමනය සහිත වී රජය විසින් මිලදී ගැනීම. ඒ අනුව තෙතමනය 14% ඉක්මවන උපරිම තෙතමනය 22% නොඉක්මවූ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 44කට මිලදී ගැනීමට කටයුතු කර ඇත. එසේම තෙතමනය 14% ක් වන නිසි ප්‍රමිතියෙන් යුත් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50කටද මිලදී ගනු ඇත.

ඒ අනුව එක් ගොවියෙකුගෙන් වගා කර ඇති භූමි ප්‍රමාණය අනුව මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණයද සඳහන් කෙරී ඇත. එහිදී අක්කර 1 දක්වා වී කිලෝ 1,000ක්ද, අක්කර 1 සිට 3 දක්වා වී කිලෝ 3,000ක්ද, අක්කර 1 සිට 5 දක්වා කිලෝ ග්‍රෑම් 5,000ක්ද ලෙස මිලදී ගැනීම සිදු කෙරේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ආරම්භක පියවර සඳහා රුපියල් මිලියන 3,830 ක බැංකු අරමුදල් මේ වනවිටත් වී අලෙවි මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සැපයීමටද මහා භාණ්ඩාගාරය පියවර ගෙන ඇත.මෙම මිලදී ගැනීමේ වැඩසටහන සඳහා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හා අනෙකුත් රාජ්‍ය ආයතන සතු ගබඩා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතු ගබඩා පහසුකම්ද සූදානම් කර ඇතැයිද මුදල් අමාත්‍යාංශය පවසයි.

Visits: 49

Leave a Reply

Your email address will not be published. Required fields are marked *