ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ මව්පියන්ට මහකොමසාරිස්ගෙන් පණිවුඩයක්

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ මව්පියන්ට මහකොමසාරිස්ගෙන් පණිවුඩයක්

COVID-19 වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවද ඇතුළුව ලොව පුරා උද්ගතව පවතින ආර්ථික අර්බුදය හමුවේ  එරට සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අනාගතය සම්බන්ධයෙන් එරට රජය ගෙන ඇති තීරණ කිහිපයක් පිළිබඳව සඳහන් කරමින් එම සිසුන්ගේ ඔවුන්ගේ දෙමව්පියන් වෙත පණිවඩුයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ඩේවිඩ් හෝලි මහතා කටයුතු යොදා තිබේ.

එහිදී ඔස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය ඩැන් ටෙහාන් පසුගියදා සිය ට්විටර් හරහා නිකුත් කළ පණිවුඩය උපුටා දක්වමින් මහකොමසාරිස්වරයා සිය කරුණු දැක්වීම ආරම්භ කර තිබේ. මෙම පණිවුඩය තුළදී අමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන් සියලු දෙනාම තමන්ගේ මිත්‍රයන්, පන්ති සගයන්, හිතවතුන් මෙන්ම සිය සමාජයේ සාමාජිකයන් බවට පවසා ඇත.

කෙසේ වෙතත් මෙම කොරෝනා වෛරසය හරහා මතු වූ අර්බුදයත් සමගින්ම තවදුරටත් මෙම විදේශීය සිසුන් සඳහා පහසුකම් සැලසීම සිය රජයට අපහසු වී ඇති බවත්, ඉදිරියේදී තමන්ගේ වැඩි අවධානය සිය ජනතාවගේ ජීවනෝපාය සහ සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාම පිළිබඳව සහ රටෙහි අත්‍යවශ්‍ය කර්මාන්ත වෙත උදව් කිරීම මෙන්ම වෛරසයෙන් පසුව ඇති වන සමාජය යළි නගාසිටුවීමේ තත්ත්වය සඳහා සහාය දැක්වීම යනාදිය වෙත යොමු වන බවත් මහකොමසාරිස්වරයා සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම වසංගතය එරට සිටින විදේශීය සිසුන් වෙත දැඩිව බලපානා බව පිළිබඳවට තමන් දැනුවත් බව පවසන ඔස්ට්‍රේලියානු රජය, ඒ හේතුවෙන් තවදුරටත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටිමින් සිය අධ්‍යාපන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන විදේශීය සිසුන් සඳහා වඩාත් පහසු රෙගුලාසි කිහිපයක් හඳුන්වාදීමටද කටයුතු යොදා තිබේ.

එහිදී මෙම සිසුන්ට සිය පවුලෙන් ලැබෙන සහයෝගයෙන්, අර්ධ කාල රැකියාවන්හි නිරතවීම් මෙන්ම තමන් සතු ඉතුරුම් යොදා ගනිමින් ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වීමට අදාළ උනන්දු කිරීමක් වෙත යොමුවන බව මෙම ලිපියේ සඳහන් වෙයි. ඒ අනුව සිය වීසා අයැදුම්පත්‍රයේදී අදාළ විදෙස් සිසුන් සිය පළමු වසර තුළදී සිය කටයුතු සඳහා ලබා ගන්නා දායකත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීම අනිවාර්යය වී ඇත.

එසේම දැනටමත් මාස 12කට වඩා වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින, මූල්‍යමය අපහසුවකින් පෙලෙන සිසුන්ට ඔස්ට්‍රේලියානු රජය විසින් ලබා දෙන මූල්‍ය පහසුකම වෙත අයැදුම් කිරීමේ අවස්ථාව පවතී.

මිට අමතරව මෙම විදෙස් සිසුන් වෙත සතියකට අමතර පැය 40ක කාලයක් අමතර රැකියාවක නිරතවීමේ හැකියාව පවතී. එහිදී වැඩිහිටියන් බලා ගැනීම සහ සත්කාරක සේවා වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර වෙත මෙන්ම දැනට ඉහළ ඉල්ලුමක් පවතින සුපිරි සාප්පු සංකීර්ණවල භාණ්ඩ ඇසිරීම වැනි සේවාවන්හිද නිරතවීමේ අවස්ථාව පවතී.

ඒ අනුව ලබන මැයි 01 වැනිදා සිට මෙම සිසුන්ට එම උපරිම පැය 40 සේවය කිරීමේ අවස්ථාව හිමි වන බවත්, එහිදී ඔස්ට්‍රේලියානුවන්ද වැඩි වශයෙන් මෙම රැකියා සඳහා යොමුවීමේ අවස්ථාවක් පවතින බවත් සඳහන් කෙරී තිබේ. මෙම කයුතු පිළිබඳ වැඩි දුරට තොරතුරු ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හරහා (http://covid19.homeaffairs.gov.au/ ලබා ගත හැකි බවත්, එසේ නැත්නම් 131 881 අංකය හරහා එහි ගෝලීය සේවා මධ්‍යස්ථානය ඇමතිය හැකි බවත් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා පවසයි.

මේ අතරම COVID-19 නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත එල්ල විය හැකි බලපෑම අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විශ්වවිද්‍යාල සහ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන සමගින් කටයුතු කරන බවත්, එහිදී විදේශීය සිසුන්ගේ පහසුව සඳහා ක්‍රමවේද සකස් කර ඇති බවත් පවසයි.

ඒ අනුව දැනටමත් පිළිගැනීමට ලක්ව ඇති විදේශීය සිසුන් සිය අධ්‍යාපන පහසුකම් සලසන්නාගෙන් සිය අධ්‍යාපන කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගත  හැකු බවත්, www.dede.gov.au වෙත පිවිස සිසුන් පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමත් අනිවාර්යය බව පවසයි.

එසේම ඔස්ට්‍රේලියාව තුළ අධ්‍යාපනය හැදෑරීමට කැමැති සිසුන් වේ නම් ඔවුන් www.studyinaustralia.gov.au වෙත පිවිස වැඩිදුර තොරතුරු ලබා ගැනීමත් ඔවුන්ට හිමිවන සේවාවන් පිළිඳවද දැන ගැනීමට හැකිය.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදේශීය ශිෂ්‍ය වීසා දරන්නන් වෙත ලබා දෙන විශේෂිත සහයෝගයන් සම්බන්ධයෙන් යාවත්කාලීන වන තොරතුරු දැන ගැනීම සඳහා www.homeaffairs.gov.au/news-media/current-alerts/noval-coronavirus යන වෙබ් අඩවියට පිවිසිය යුතු බවත් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා එරට සිටින සහ එරට පැමිණීමට බලාපොරොත්තුවන සියලුම ශ්‍රී ලාංකික සිසුන්ගේ මව්පියන් වෙත දන්වා සිටියි.

Visits: 75