ට්‍රම්ප් ඉල්ලූ Covid-19ට එරෙහි ඖෂධය රටින් පිටකිරීම මෝඩි තහනම් කරයි

ට්‍රම්ප් ඉල්ලූ Covid-19ට එරෙහි ඖෂධය රටින් පිටකිරීම මෝඩි තහනම් කරයි

Covid-19 වෛරසයට එරෙහිව යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළ හැකි බවට දැනට හඳුන්වාදී ඇති මැලේරියාව සඳහා ලබා දෙන hydroxychloroquine ඖෂධය අපනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

මේ තීරණය පිළිබඳව ඉන්දියාවේ විදේශ වෙළෙඳාම පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී සිය වෙබ් අඩවිය තුළ සඳහන් කර තිබේ. එහිදී එම ඖෂධය මෙන්ම එහි සංයුතියත් අපනයනය කිරීම කිසිදු වියතිරේකයකින් තොරව තහනම් කෙරී තිබේ.

ඉන්දීය විදේශ වෙළෙඳ දෙපාර්තමේන්තුව පසුගිය මාර්තු 25 වැනිදා සිට මෙම ඖෂධය අපනයනය අත්හිටුවා තිබේ. එහෙත් එහිදී මානුෂීය අවස්ථාව මත සහ ප්‍රමුඛතා දායකත්වයක් යටතේ යන වියතිරේක යටතේ මෙම hydroxychloroquine ඖෂධය නිකුත් කිරීමටද කටයුතු යෙදී තිබුණි.

මේ අතර, ඊයේ දිනයේදීම ධවල මන්දිරයේදී මාධ්‍ය හමුවක් කැඳවූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන් ඇනවුම් කර තිබූ hydroxychloroquine ඖෂධ තොගය හැකි ඉක්මණින්ම එරටට එවන ලෙස ඉන්දීය අගමැති මෝඩිට දුරකතනයෙන් පැවසූ බව පවසා සිටියේය. එහිදී ඉන්දීය අගමැතිවරයා සිය ඉල්ලීම දෙස වඩාත් ඉහළ අවධානයක් යොමු කළ බවත් ට්‍රම්ප් එහිදී සඳහන් කළේය.

ට්‍රම්ප් ආසන්න දින කිහිපයකදීම තමන් සහභාගී වූ සෑම මාධ්‍ය හමුවකදීම මෙම hydroxychloroquine ඖෂධය පිළිබඳව කරුණු සඳහන් කර තිබුණි. එහිදී එය නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වසංගතයට එරෙහි සටන සඳහා වැදගත් අවස්ථාවක් බවක්ද ඔහු නිරන්තරයෙන්ම පවසා තිබුණු බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් මෙම hydroxychloroquine ඖෂධය නව කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස මෙතෙක් කිසිදු අවසන් විද්‍යාත්මක ඔප්පු කිරිමක් සිදුව නැත. එසේම එය COVID-19 සඳහා ලබාදිය හැකි ප්‍රතිකාරයක් ලෙස එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය හරහාද මෙතෙක් අනුමැතියක් ලබා දී නැත.

ඉන්දියාව තුළද නව කොරෝනා වසංගත ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම මෙලෙස තමන් සතු hydroxychloroquine ඖෂධ තොගය රටින් පිට නොකිරීමට ඉන්දියාව ගත් තීරණයේ පිටුපස ඇති මූලිකම හේතුව ලෙස සැලකිය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ වෙසෙන බිලියන 1.3ක් වන ජනගහනයෙන් 3,577 දෙනෙකුට මෙම නව කොරෝනා වෛරසය ආසාණය වී ඇති අතර ඉන් 83 දෙනෙකු මරණයට පත්ව තිබේ. මෙය ඉදිරි සති කිහිපයේදී එරට තුළ වැඩි ව්‍යාප්තියක් සිදු වෙනු ඇතැයි අනතුරු අඟවා ඇත.

Visits: 90