ඇඳිරිනීතිය නිසා ජීවනෝපාය අහිමි සැමටම රුපියල් 5,000 ක දීමනාව

ඇඳිරිනීතිය නිසා ජීවනෝපාය අහිමි සැමටම රුපියල් 5,000 ක දීමනාව

නව කොරෝනා හෙවත් කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ආර්ථික අපහසුතාවට පත්ව සිටින පිරිස් වෙත ලබා දෙන රුපියල් 5,000 දීමනාව ඇඳිරි නීතිය නිසා සිය ජීවනෝපාය අහිමිව සිටින සියලු දෙනා වෙතම ලබා දීමට රජය තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව මූලිකවම සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින පිරිස ඇතුළුව දෛනික ජීවනෝපාය අහිමිව සිටින ත්‍රිරෝද රථ රියදුරන්, පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුළු පිරිස් වෙතද මෙම දීමනාව ලබා දීමට තීරණය කර ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපති කාර්යය සාධක බලකාය මෙම තීරණයට එළැඹ තිබේ.

එහිදී සංචාරක ක්ෂේත්‍රයේ නිරතව සිට පීඩාවට පත්ව සිටින අයට ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ග්‍රාම නිලධාරීවරයාගෙන් සමන්විත කමිටුව වෙත අදාළ ඉල්ලීම ඉදිරිපත් කළ හැකිය. ඒ අනුව මෙම රුපියල් 5,000 දීමනාව ලබාදීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් තෝරා ගැනීම එම කමිටුව මගින් සිදු කරන බව පවසයි. එහිදී මේ සම්බන්ද නිර්ණායක රජය විසින් එම කමිටුවට පැහැදිලිව දැනුම් දී ඇතැයිද සඳහන් වෙයි.

මෙම කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූ ඍජු හා වක්‍ර රැකියාවල නිරතවූ විශාල පිරිසක් ආර්ථික අපහසුතාවන්ට පත්ව ඇති බවට හඳුනාගෙන ඇතැයිද අමාත්‍යාංශය පවසයි.

Visits: 48