AMAZON ජෙෆ් බෙසොස්ගෙන් එ. ජනපද ආහාර බැංකු වෙත ඩො.මිලියන 100ක්

AMAZON ජෙෆ් බෙසොස්ගෙන් එ. ජනපද ආහාර බැංකු වෙත ඩො.මිලියන 100ක්

ලොව සුප්‍රසිද්ධ AMAZON සමාගමේ හිමිකරුවා වන ජෙෆ් බෙසොස් විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර බැංකුව වෙත ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් සිදු කර ඇතැයි වාර්තා වෙයි.

COVID-19 වසංගතය හේතුවෙන් එරට තුළ කඩා වැටී ඇති ව්‍යාපාර නිසා රැකියා අහිමිවී සිටින ඇමෙරිකානුවන්ගේ කුස පිරවීම සඳහා ඔහු මෙලෙස එරට ආහාර බැංකුව වෙත සිය ප්‍රදාන සිදු කර තිබේ.

මෙහිදී ඔහු චිකාගෝ නුවර සිට ක්‍රියාත්මක කෙරෙන ෆීඩිං ඇමෙරිකා නම් ලාභ නොලබන ආයතනයක් වෙත අදාළ මුදල් ප්‍රදානය සිදු කර තිබේ. මෙම ආයතනය සතුව එක්සත් ජනපදය පුරා ව්‍යාප්තව ඇති ආහාර බැංකු 200කට අධික සංඛ්‍යාවක් පවතින බව සඳහන් වෙයි.

සිය ප්‍රදානයෙන් අනතුරුව බෙසොස් ඉන් එක් ආහාර බැංකුවක ඡායාරූපයක්ද සිය ඉන්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබේ. “COVID-19 වසංගතය නිසා විතරක් නෙමෙයි සාමාන්‍ය කාලයේදීත් ඇමෙරිකානු නිවෙස් තුළ ආහාර සුරක්ෂිතතාව මූලික ගැටලුවක්, ඒත් අවාසනාවට වගේ මේ වසංගතය නිසා එහි ආතතිය ඉහළ නංවලා තිබෙනවා.” ජෙෆ් බෙසොස් පවසා ඇත.

විශේෂයෙන්ම සමාජ දුරස්ථකරණය හේතුවෙන් අද වනවිට බොහෝ ආපනශාලා වසා දමා ඇති බවත්, නොමිලේ ආහාර ලබා දුන් කතෝලික දේවස්ථාන පවා මේ වනවිට වසා දමා ඇති බවත් ඔහු පවසයි.

ජෙෆ් බෙසොස්ගේ මෙම මුදල් ප්‍රදානය පිළිබඳව අදහස් දක්වන ෆීඩිං ඇමෙරිකා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා, එය එතෙක් මෙතෙක් සිය සංවිධාන ඉතිහාසයේ ලැබුණු විශාලතම තනි මුදල් ප්‍රදානය බවත් පවසා සිටියි. ඒ අනුව මෙම ආපදාව නිසා හානියට පත් මිලියන ගණනක පිරිසකට මින් ආහාර ලබා දිය හැකි බවත් ඔහු පවසයි.

Visits: 52