රටෙහි කර්මාන්තශාලා නැවතීමෙන් ලාෆ්ස් ප්‍රධාන ආදායමට හානි වෙලා

රටෙහි කර්මාන්තශාලා නැවතීමෙන් ලාෆ්ස් ප්‍රධාන ආදායමට හානි වෙලා

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග රට පුරා පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් බොහෝ කර්මාන්තශාලා මෙහෙයුම් ඇණහිටීම සිය ප්‍රධාන ආදායම් මාර්ගය මෙන්ම වැඩිම අලෙවි ධාරිතාවක් සැපයූ තොග අංශය වෙත දරුණු ලෙස බලපෑ බව ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම පවසයි.

එසේම මෙම අනාරක්ෂිත සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල සිල්ලර වෙළෙඳ සැල් මෙන්ම එල්.පී.ජී. ගෑස් අලෙවි සැල්ද වසා දැමීම නිසා සිය සමාගමේ සමස්ත ආදායම වෙත මෙන්ම අලෙවි කටයුතු සඳහාද ඉහළ දායකත්වයක් සපයන වාණිජ අංශය වෙතද බලපෑම් එල්ල වූ බව සමාගම පවසයි. එසේම කෑම කඩ, ආපනශාලා සහ හෝටල් ක්‍රියාත්මක නොවීමද මෙම අංශයේ ආදායම් අඩුවීමට හේතු වී තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් වෙත සිදුව ඇති බලපෑම දන්වා එවන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ එහි ලැයිස්තුගත සමාගම් වෙත සිදු කර තිබූ ඉල්ලීමට පිළිතුරු සපයමින් ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම මෙලෙස ලිපියක් මගින් මෙම කරුණු දක්වා සිටියි.

“හදිසියේම පැනවූ මේ ඇඳිරි නීති තත්ත්වය නිසා අපගේ ප්‍රාථමික බෙදාහැරීම් වන පිරවුම් කර්මාන්තශාලාවේ සිට ප්‍රතිබෙදාහැරීම් සිදු කරන ස්ථාන දක්වා සිදුකරන මෙහෙයුම් සිදු වුණේ බොහෝ බාධක මධ්‍යයේයි. ඒ වගේම ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයේ සිදු වූ නිරන්තර වෙනස්කම්, සමාගම වෙත මෙන්ම තොග බෙදාහරින්නන් වෙතත් අවහිරතා ඇති කළා. ඊට අමතරව බෙදාහරින්න්ගේ සිට ප්‍රතිවිකුණුම්කරුවන් දක්වා සිදුවන ද්විතියික බෙදාහැරීමත් මෙහිදී දරුණු බලපෑමට ලක් වුණා.” ලාෆ්ස් පීඑල්සී සමාගම පවසයි.

ඒ අනුව, පැවති මෙම තත්ත්වය හේතුවෙන් සිය සමාගමේ සමස්ත මෙහෙයුම්හි  සෑම ආකාරයේ අගය දාමයන් වෙතම බලපෑම් එල්ල වූ බව සමාගම සඳහන් කරයි. විශේෂයෙන්ම මෙම කාලසීමාවේදී මෙහෙයුම් සඳහා සේවකයන් සොයා ගැනීම පිළිබඳව අභියෝග රැසක්ම උදා වූ බවත් ඔවුන් පවසයි.

“මේ තත්ත්වයත් සමග ලාෆ්ස් සමාගම සිය අතින් සිදු කරන මෙහෙයුම් සියල්ලම පාහේ අවම මිනිස් මැදිහත්වීමකින් තොරව සිදු කිරීම සඳහා විවිධ ස්වයංක්‍රීය මෙහෙයුම් වෙත යොමු කළා. එතැනදී සමාගම දුරකතන ක්‍රියාකාරුවන් 50 දෙනෙකුට වඩා වැඩි පිරිසක් යොදා ගැනුනු ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දුන්නා. ඒ වගේම පාරිභෝගිකයන්ගේ පොරොත්තු කාලය අඩු කිරීම සඳහා අලුතින් අන්තර්ජාලය හරහා ඇනවුම් භාරගත හැකි වේදිකාවක්ද නිර්මාණය කළා.” සමාගම පවසයි.

මෙහිදී ලාෆ්ස් ගෑස් සිය ඇනවුම් භාරදීම සඳහා ගෙවුණු කාලසීමාවේදී විශේෂිත වාහන 50කට වැඩි ප්‍රමාණයක් යෙදවූ වබත්, ඒ යටතේ අලුත්ම ‘ජංගම ගෑස් ගබඩා’ සංකල්පය හඳුන්වාදීමට කටයුතු යෙදූ බවත් පවසයි. ඒ හරහා පාරිභෝගිකයන්ට සිය නිවෙසේදීම ගෑස් මිලදී ගැනීමේ පහසුකම් සැලසීමටද ඔවුන්ට හැකියාව ලැබී ඇත. එසේම ක්ෂණික සහ හදිසි ගෑස් භාරදීම් වෙනුවෙන් ත්‍රීවිලර් රථද යොදා ගැනීමට කටයුතු යොදා තිබේ.

“ඒ වගේම ක්‍රමෝපායික වශයෙන් වැදගත් සහ ජාතික අවශ්‍යතාවක් ලෙස වැදගත් වන ස්ථාන වෙත අපගේ දැවැන්ත ගෑස් ප්‍රවාහන රථ මගින් මෙම ගෑස් ටැංකි ප්‍රවාහනය කළා.” සමාගම පවසයි.

ඒ අනුව ඉදිරියේදී සිය මෙහෙයුම් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා පියවර කිහිපයක්ම කටයුතු යොදා ඇතැයිද ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරයි. එහිදී නිවෙස් වෙත ගෑස් ගෙනැවිත් භාරදීමේ නව සංකල්පයකත් හඳුන්වාදීමටත්, දිවයින පුරා හඳුනාගත් අලෙවිකරුවන් වෙත විශේෂිත ගෑස් බෙදාහැරීමේ අනුමැතිය ලබා දෙමින් වැඩි නිවෙස් ප්‍රමාණයක් වෙත ගෑස් බෙදාහැරීම් සිදු කිරීමටත් සමාගම සැලසුම් කර තිබේ.

මේ අතර දැනට ක්‍රියාත්මක කරගෙන යන සිය ව්‍යපාර මෙහෙයුම් වෙත සහායවීමක් ලෙස මහ බැංකුව විසින් ලබා දීමට යෝජනා කර ඇති ණය පමාසහනය තමන්ද බලාපොරොත්තු වන බව ලාෆ්ස් ගෑස් පීඑල්සී පවසයි.

එසේම සිය මූල්‍ය තත්ත්වයේ කඩා වැටීම යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වන තෙක් සිය සියලු ප්‍රාග්ධන වියදම් නැවැත්වීමටත් සමාගම තීරණය කර තිබේ. එසේම ඉදිරියේදී සැලසුම් කර තිබූ ව්‍යාපාර ප්‍රවර්ධන මෙහෙයුම් සඳහා වෙන්කර තිබූ වියදම් වෙතද මෙම මූල්‍ය බලපෑම එල්ල වී ඇතැයි සමාගම පවසයි.

“මේ තත්ත්වයත් සමගම මෙහෙයුම් පිරිවැය අඩු කරගැනීමේ ක්‍රමවේද කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අතර වැටුප් කප්පාදු කිරීම්, අලෙවිය හා සම්බන්ධ මෙහෙයුම් වියදම් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් එම වියදම් අඩු කරගැනීමත් ඇතුළත්.”

මේ ක්‍රමවේද සියල්ල හරහා ඉතිරි කරගන්නා වියදම්, ඉදිරියේදී නිවෙස් වෙත ගෑස් භාරදීමේ සහ අනෙකුත් පාරිභෝගික මට්ටමේ ක්‍රියාකාරකම් දියුණු කිරීමේ කටයුතු වෙද යොමු කරවීමට කටයුතු යොදන බවත්, ඒ හරහා පාරිභෝගිකයන් තෘප්තියට පත්වීම ආරක්ෂා කිරීමටත් අදහස් කරගෙන තිබෙන බව ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත සහ සිය කොටස්හිමියන් වෙත දන්වා සිටියි.

Visits: 22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *