වෙළෙද පොළ තිරසාර දියුණුවකට සාමුහික උත්සාහයක් අවශ්‍යයි

වෙළෙද පොළ තිරසාර දියුණුවකට සාමුහික උත්සාහයක් අවශ්‍යයි

කොටස් වෙළෙද පොළ වෙත ඇති වන අභියෝගවලට මුහුණ දෙමින් එය දියුණු මට්ටමට පත් කර තිරසාර අන්දමින් පවත්වාගෙන යාම සඳහා සාමුහික උත්සාහයක් අවශ්‍යව ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති රේ අබේවර්ධන මහතා පවසයි. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳ පොළ නියාමකයා, එහි පහසුකම් සපයන්නා මෙන්ම රජයේද එකමුතුවෙන් සිදු කරන සාමුහික ප්‍රයත්නයක් හරහා මෙම තත්ත්වය ළගා කරගත හැකි බව ඔහුගේ අදහස වී තිබේ.

Biznomics සඟරාව මගින් ඊයේ සන්ධ්‍යාවේදී පැවැත්වූ අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය. මෙම සාකච්ඡාව සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ආචාර්ය අරිත වික්‍රමනායක සහ කොටස් වෙළෙඳ පොළ තැරැව්කරුවන්ගේ සංගමයේ සිටපු සභාපතිවරයෙකු වූ රවී අබේසූරිය යන මහත්වරුන්ද සහභාගි වී සිටියහ.

විශේෂයෙන්ම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිටම වෙළෙඳ පොළ කඩා වැටීම ආරම්භ වුණු තිබූ බවත්, ගෙවුණු දෙසැම්බර් – මාර්තු සහ අප්‍රේල් මාසවලින් පසුව අද වනවිටත් සමස්ත වෙළෙඳ පොළම 24%ත් -25ත්% අතර අගයක කඩා වැටීමක් තිබෙන බවත් ඔහු පවසයි.

“පසුගිය දින කිහිපයේදී අපි කොටස් වෙළෙඳ පොළ තුළ දුටු දේ සමගින් මේ පසුබැසීම අමතක කරන්න බැහැ. අපි මේ පුළුල් පින්තූරය දෙසම බැලිය යුතුයි.” ඔහු සඳහන් කරයි.

මෙහිදී විශේෂයෙන්ම කළ යුතුව තිබූ, එහෙත් මෙතෙක් නොකළ දේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බවත හෙතෙම මෙහිදී පැවසීය. ඒ අතරින් කොටස් වෙළෙඳ පොළ ඩිජිටල්කරණයට ලක් කිරීම ඇතුළුව එහි දියුණු කිරීම් සඳහා ගත යුතු ක්‍රියාමාර්ගද වන බව ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම කොටස් වෙළෙඳ පොළ සතුව තිබිය යුතු DVP  – Delivery Versus Payment ක්‍රමවේදය මෙතෙක් ඒ වෙත හඳන්වාදී නොතිබීම සති 7කට ආසන්න කාලයක් කොටස් වෙළෙඳ පොළ වසා දමා තිබීමටත් හේතු වූ බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

“එය එක හේතුවක් වුණා මේ ඇඳිරි නීති සමයේදී ගනුදෙනු අත්හිටුවා තිබීමට. අනෙක් කාරණය තමයි අපිට අප සතුව අලෙවිය සඳහා තවත් නිෂ්පාදන නොතිබීම. අපේ තියෙන්නේ තනි නැවතුම් වෙළෙඳ පොළක් (One Stop Market) විතරයි. ඒ තත්ත්වයේ ඉදන් තිරසාරත්වයක් බලාපොරොත්තු වීම හරි අසීරුයි. මොකද අපි සියල්ලම රඳා පවතින්නේ එක නිෂ්පාදනයක් මතයි. හැබැයි දියුණු වෙළෙඳ පොළ තුළ තවත් නිෂ්පාදන තිබෙනවා. ඔවුන් ඒවා අලෙවි කරනවා. එවැනි තත්ත්වයක් තුළදී මේ ගැටලුවලින් මිදෙන්න අපිට බැහැ.”

ඒ අනුව වසර ගණනාවක් පුරා මෙම වෙළෙද පොළ ගනුදෙනු සඳහා සම්බන්ධ වූ පුද්ගලයෙකු ලෙස තමන්ට පසුව එන ඉදිරි පරම්පරාව හෝ මේ තත්ත්වය ඇති කරනු ඇතැයි යන්න කොටස් වෙළෙඳපොළ සභාපතිවරයාගේ අදහස වී තිබේ.

“ඇත්තටම බැලුවොත් කොළඹ කොටස් වෙළෙඳ පොළ නියාමකයා වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, එහි පහසුකම් සපයන්නා වන අප, වෙළෙඳ පොළ සඳහා සම්බන්ධ වන්නන්ගෙන් යනාදී සියල්ලන්ගේම දුර්වලතාවන් නිසා තමයි මේ දේ සිද්ධ වුණේ. අපි කළ යුතුව තිබූ ගොඩක් දේ කළේ නැහැ. එතැනදී කොටස් වෙළෙඳ පොළ නියාමකයා කොටස් වෙළෙඳ පොළ වෙත ඇහුම්කම් නොදීම ප්‍රධාන ගැටලුව වුණා.” හෙතෙම පවසයි.

ඒ අනුව දැනට වෙළෙඳ පොළ පවතින තත්ත්වයෙන්ම ඉදිරියට යා නොහැකි බව පෙන්වා දෙන ඒ මහතා කෙසේ හෝ මේ වෙළෙඳ පොළ දියුණු කරගත යුතු බවත් සඳහන් කරයි. එලෙස එය උසස් මට්ටමකට පත් කරගත ගැනීම සඳහා සියලු දෙනාම එකතු වෙන සාමුහික උත්සාහයක් වෙත යා යුතු බවත් ඔහු පවසා සිටියි.

“මේ සම්බන්ධයෙන් ගත්තහම අපි දැන් අවුරුදු 10ක් 15ක් තිස්සේම අසාමූහිකරණය (demutualization) ගැන කතා කරනවා. අපිට තවමත් බැරිවෙලා තියෙනවා මේ අසාමූහිකරණ පනත සම්මත කරගන්න. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ පසුබැසීම තමයි ඒ සඳහා හේතු වුණේ.”

“හැබැයි අද අපිට ඉන්නවා හොඳ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා සභාපතිවරයෙක්, කොමිසමේ සාමාජිකයන් සහ හොඳ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්. ඔවුන් අපිට ඇහුම්කන් දෙන්න සූදානම්. ඔවුන් කියන්නේ රේ ඔබ අපට කියන්න. ඔබේ යෝජනා දෙන්න. අපි ඒ ගැන බලලා ඔබ වෙත එන්නම් කියලයි. අන්න ඒ මානසිකත්වය තමයි දැනට වසර ගණනාවකට පෙර අපිට ලැබිය යුතුව තිබුණේ. කවුරුහරි හිතනවා නම් තමන් සියල්ලම දන්නවා කියලා ඒ දේ සාර්ථක කරගන්න බැහැ. අපිට ඕනේ %හරි ඔබලා තමයි මේ දේ කරන්නේ අපිට කියන්න මොනවාද කෙරෙන්න ඕනේ කියලා^ විදියට හිතන පිරිසක්.” අබේවර්ධන මහතා පවසයි.

විශේෂයෙන්ම කොටස් වෙළෙඳ පොළ යනු විශාල ආයතනයක් බවත්, වෙළෙඳ පොළ වෙත ඉදිරියේදී එල්ල වන ඕනෑම අභියෝගයක් ජය ගැනීම සඳහා ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරියෙකුගේ නායකත්වයෙන් යුක්තව සැලසුම් සහගත ආයතනයක් ලෙස ඉදිරියට රැගෙන යාම අවශ්‍ය බවද ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

“අපිට බැහැ මේ තත්ත්වයෙන් ඉදිරියට යන්න. අපි දැන් වත් ඉදිරි වසර 3 හෝ 5 ගැන කල්පනා කරලා සැලසුම් සකස් කළ යුතුයි. ඒ සඳහා මම කියන මේ සාමුහික උත්සාහය අවශ්‍යයි.” කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති රේ අබේවර්ධන මහතා අවසන් වශයෙන් පැවසීය.

2017 වසරේ මැයි මාසයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපතිවරයා ලෙස පත්වූ අබේවර්ධන මහතා මේ වනවිට වසර තුනක කාලයක් එම ධුරය දරයි. එසේම ඔහු මේ වනවිට Acuity Partners (Pvt) Ltd හි කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි. මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 30කට අධික අත්දැකීම් සහිත පුද්ගලයෙකු ලෙසද ඔහු සැලකෙයි. 1986 වසරේදී ෆෝර්බ්ස් ඇන්ඩ් වෝකර් පෞද්ගලික සමාගමේ පුහුණුවන කොටස් තැරැව්කරුවෙකු ලෙස ඔහු සිය වෘත්තීය දිවිය ආරම්භ කර තිබේ.

Visits: 15