ජනපතිගේ COVID අරමුදලේ ඉතිරි බර දිලිත්ගේ ‘ඉටුකම’ ට භාර දෙයි

ජනපතිගේ COVID අරමුදලේ ඉතිරි බර දිලිත්ගේ ‘ඉටුකම’ ට භාර දෙයි

COVID-19 වසංගත තත්ත්වයත් සමග එය පාලනයට සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය මගින් පිහිට වූ ‘කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ ඉදිරියේදී ‘ඉටුකම – COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ ලෙස නම් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.

දෙස් විදෙස් පරිත්‍යාංගශීලීන් තව තවත් ආකර්ෂණය කරගනු පිණිස මෙම ‘ඉටුකම’ සන්නාමය හඳුන්වාදෙනු ලැබුණු බව ජනාධිපති කාර්යාලය මෙහිදී පවසා සිටියි. ඒ අනුව ඉදිරියේදී මේ සඳහා වන දැන්වීම් ප්‍රචාරණ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමද බලාපොරොත්තුව වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ රුපියල් මිලියන 100ක ප්‍රදානයක් සමගින් පසුගිය මාර්තු 23 වැනිදා මෙම අරමුදල ස්ථාපනය කෙරිණි. අද දිනය වන විට එම අරමුදල රුපියල් බිලියන 1.128 ක් (රුපියල් 1,128,027,502ක්) දක්වා තරවී තිබුණි. රුපියල් බිලියන 3ක් එකතු කරගැනීමේ ඉලක්කයක් සහිත මෙම අරමුදල සඳහා තවත් රුපියල් බිලියන 1.871 ක් (රුපියල් 1,871,972,498ක්) අවශ්‍යව තිබේ.

මෙම අරමුදල (ඉදිරියේදී ‘ඉටුකම – COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ ලෙස හඳුන්වන) පාලනය කිරීම පරිපාලන, මූල්‍ය හා බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් සිදු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

එම කමිටුවේ සභාපති ධුරය මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිවි.ඩී. ලක්ෂ්මන් මහතා දරන අතර, ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී රවීන්ද්‍ර විමලවීර මහතා ප්‍රධාන ලේකම් ධුරය දරයි. මෙම කමිටුවේ ප්‍රධානීත්වය කොළඹ මහාධිකරණ නීතීඥ සංගමයේ හිටපු සභාපති නීතීඥ ජේ.එම්.එස්.ජී. ජයසුන්දර මහතා විසින් දරනු ලබයි.

මෙම ‘කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ පිහිටුවා සති හතකට පමණ පසුව, මැයි 13 වැනිදා මෙම ‘ඉටුකම’ ප්‍රචාරණ වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශයේදී නිල වශයෙන් දියත් කෙරිණි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන් එය සිදු විය. මෙය එම වැඩසටහන මාධ්‍ය වෙත දියත් කිරීමේ වැඩසටහනක් ලෙසද හඳුන්වාදී තිබූ අතර, ඊට සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබුණි.

විශේෂයෙන්ම යුද සමයේදී ‘අපි වෙනුවෙන් අපි’ දැන්වීම සඳහා පුළුල් ප්‍රචාරයක් ලබාදීම සඳහා මාධ්‍ය ආයතන දැක්වූ සහයෝගය අගය කර තිබූ ඒ මහතා, එම දැන්වීම මුළු රටේම ජනතාව ආකර්ෂණය කරගත්තේ රට පුරා මාධ්‍ය විසින් එම පණිවුඩය රැගෙන ගිය නිසා බවද හෙතෙම පවසා තිබුණි.

ඒ අනුව මෙම ‘ඉටුකම’ වැඩසටහනේ නිර්මාණ කාර්යය, යුද සමයේ ‘අපි වෙනුවෙන් අපි’ වැඩසටහන නිර්මාණය කළ දිලිත් ජයවීර මහතා සම හිමිකාරීත්වය දරන ට්‍රයිඇඩ් වෙළෙඳ දැන්දැවීම් නිර්මාණ ආයතනය විසින්ම සිදු කර තිබේ. එහි ප්‍රචාරණ කටයුතුද ඔවුන් විසින්ම සිදු කරනු ලබයි.

“අරමුදල සඳහා වැඩි දායකත්වයක් ලබා ගැනීම සඳහා ඉටුකම වෙළෙඳ දැන්වීම් මාලාවක් අපි සූදානම් කර තිබෙනවා. මේ සඳහා භාතිය, උමාරියා, සන්තුෂ් සහ ට්‍රයිඇඩ් දැන්වීම් ආයතනය අපට ඉමහත් සහයෝගයක් දැක්වූවා.” ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා එලෙස පවසා තිබුණි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක මෙම ප්‍රචාරණ කටයුතු සඳහා www.itukama.lk ලෙස වෙබ් අඩවියක්, facebook.com/Itukama ලෙස ෆේස්බුක් ගිණුමක්ද ක්‍රියාත්මක වෙයි. මේ සඳහා නිර්මාණය කළ දැන්වීම් මේ වනවිට සියලුම ප්‍රසිද්ධ රූපවාහිනි මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබේ. එසේම පුවත්පත් සහ ගුවන් විදුලි සේවා හරහාද ඒවා ප්‍රචාරය කෙරෙයි.

ඒ අනුව මෙම දැන්වීමට මෙරට මාධ්‍ය හරහා උපරිම ප්‍රචාරයක් ලබා දෙමින් මෙම ජාතික ප්‍රයත්නය සාර්ථක කරගැනීම සඳහා අරමුදල වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දීමට සහයෝගය ලබා දෙන ලෙසද ආරක්ෂක ලේකම්වරයා සියලුම මාධ්‍ය ප්‍රධානීන්ගෙන් එහිදී ඉල්ලා තිබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලය පවසන ආකාරයට නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක් පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# ඔස්සේ එයාර්ටෙල්, ඩයලොග්, හච් සහ මොබිටෙල්  යන ඕනෑම ජංගම දුරකතන ජාලයක් හරහාද අරමුදල් පරිත්‍යාග කළ හැකිය.

Visits: 28