ජාතික කඩදාසි සමාගම ඈවර කිරීම අත්හිටුවෙයි

ජාතික කඩදාසි සමාගම ඈවර කිරීම අත්හිටුවෙයි

සීමාසහිත ජාතික කඩදාසි සමාගම ඈවර කර දැමීම සඳහා අමාත්‍ය මණ්ඩලය මීට පෙර ගෙන තිබූ තීරණය අවලංගු කිරීම සඳහා වන යෝජනාවක් අනුමත කිරීමට වත්මන් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. ඊයේ දිනයේ පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කෙරිණි.

මීට පෙර ගෙන තිබූ තීරණයට අනුව එම සමාගම ඈවර කරමින්, එහි සේවකයන්ගේ සේවය අවසන් කිරීම සඳහා ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදී තිබුණි. එහෙත් වත්මන් රජය මෙරට තුළ යළිත් කඩදාසි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම පිළිබඳව සිදු කරන යළි සොයා බැලීමේදී මෙම සමාගම ක්‍රියාකාරීව පැවතීම අත්‍යවශ්‍ය බව අදහස වී තිබේ.

විශේෂයෙන්ම සීමාසහිත ජාතික කඩදාසි සමාගම යටතේ පවතින, නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති වාලච්චේන හා ඇඹිලිපිටිය කඩදාසි කම්හල්වල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. එහිදී ඊට අදාළ ශක්‍යතා අධ්‍යයන කටයුතුද මේ වනවිට සිදු කෙරෙමින් පවතින බව රජය පවසයි.

නිෂ්පාදන කටයුතු සිදු නොකර වසා දමා ඇති රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර, දැනට නිෂ්පාදන කටයුතු සිදු නොකරන, ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විභවතාවක් සහිත සියලුම රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමටද කර්මාන්ත හා සැපයුම් කළමානාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Visits: 70

Leave a Reply

Your email address will not be published. Required fields are marked *