ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තවත් ඩොලර් මිලියන 50ක ණය ආධාර

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තවත් ඩොලර් මිලියන 50ක ණය ආධාර

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක ණය ඇප කර නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ සඳහා වන අනුමැතිය පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් ලබා දී තිබෙන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

මීට පෙර මෙම බැංකු දෙක මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබා ගෙන තිබූ ණය ඇපකරවල කාලය අවසන් වීමත් සමගින්ම මෙලෙස අලුතින් ණය ඇපකර ලිපි නිකුත් කිරීමට තීරණය වී තිබේ.

මේ තීරණය සම්බන්ධයෙන් කරුණු දක්වන අමාත්‍යවරයා, ජාතික ගුවන් සේවයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පසුගිය කොරෝනා සිදුවීමෙන්ද තහවුරු වූ බව පෙන්වා දෙයි. ඒ අනුව ජාතික ආයතන සුරක්ෂිත කිරීමේ රජයේ ප්‍රතිපත්තිය මත මෙම ණය ඇප කර නැවත නිකුත් කිරීමට රජය තීරණය කළ බවද කියා සිටියි.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය සුරක්ෂණය සඳහා මහා භාණ්ඩාගාරයේ ඇමති මණ්ඩල අනුමැතිය ඇතිව ණය ඇප කර ලිපි 08ක් හා භාණ්ඩාගාර ඇප කර 02ක් නිකුත් කර තිබේ.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකන් සමාගම ලබා ගෙන ඇති සමස්ත ඇමෙරිකානු ඩොලර් ණය පහසුකම්වල වටිනාකම ඩොලර් මිලියන 205.38 කි. එය ශ්‍රී ලංකා රුපියල් ණය පහසුකම්වල වටිනාකමින් රුපියල් බිලියන 27.60 කි. 

ලංකා බැංකුව හා මහජන බැංකුව විසින් ලබා ගත් මෙම ණය පහසුකම් හිමි කරගෙන ඇත්තේ කෙටිකාලීන හා ප්‍රාග්ධනීකෘත පොළී පහසුකම් ලෙසයි.

එහිදී රාජ්‍ය බැංකු හරහා ලබා ගත් මෙම ණය පහසුකම්වලට අමතරව 2024 ජූනි මාසයේදී ආපසු ගෙවිය යුතු වසර 05ක ජාත්‍යන්තර බැඳුම්කරයක් මාර්ගයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක අරමුදලක් සම්පාදනය කිරීම සඳහා වූ ඇප සහතිකයක්ද ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලයේදී නිකුත් කර ඇතැයි පැවසෙයි.

2019 වසරේ මාර්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක් බවත් ගණන් බලා තිබේ. 2008 වසරේදී එම ගුවන් සමාගම එමිරේට්ස් ගුවන් සමාගමින් ඉවත් කර රජයේ පාලනය යටතට ගැනීමත් සමගම සමාගමේ මෙම ණයබරතාවය ඉහළ යාම සිදු විය.

Views: 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *