MCC ගැන සම්පූර්ණ කමිටු වාර්තාව එන්නේ තවත් මාස හතරකින්

MCC ගැන සම්පූර්ණ කමිටු වාර්තාව එන්නේ තවත් මාස හතරකින්

ඇමෙරිකා එක්සත් ජනපදයේ MCC (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) නොහොත් සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය පිළිබඳ අවසන් සම්පූර්ණ කමිටු වාර්තාව තවත් මාස හතරක් ඇතුළත භාර දෙන බව එම ව්‍යාපෘතිය අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුව ජනපතිවරයා ඉදිරියේ පවසා ඇත.

මෙම කමිටුව විසින් සකස් කරන ලද MCC ව්‍යාපෘතිය පිළිබඳ මූලික කමිටු වාර්තාව ඊයේ ජනපතිවරයා වෙත භාර දෙමින් එහි සාමාජිකයෝ මේ කරුණු දක්වා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව සිව් දෙනෙකුගෙන් යුත් මෙම විද්වත් කමිටුව පත් කෙරුණු අතර පසුගිය ජනවාරි 01 වැනිදා සිට ඔවුන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව අධ්‍යයනය කළ බව පැවසෙයි.

ඒ අනුව මෙම කමිටුවේ සභාපතිත්වය දරන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා අතින් එම මූලික කමිටු වාර්තාව ජනපතිවරයා වෙත පිළිගන්වා තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන් එහි අනෙකුත් කමිටු සාමාජිකයන් ලෙස ක්‍රියා කරයි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන ආකාරයට මෙම MCC ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ ඉඩම් ව්‍යාපෘති වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් හිමි වෙයි. ඒ අතරින් ඩොලර් මිලියන 350ක් ප්‍රවාහන ව්‍යාපෘතිය වෙනුවෙන් යෙදවෙයි. එසේම ඩොලර් මිලියන 67ක මුදලක් ඉඩම් ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරේ. ඉතිරි ඩොලර් මිලියන 63ක මුදල තාක්ෂණික සහයෝගිතාව වෙනුවෙන් යෙදවෙයි.

මෙම ව්‍යාපෘති දෙක යටතේ මෙරට මිලියන 11.3ක් පමණ ජනතාවකට සෙත සැලසෙන බවත්, එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 54%ක් බවත් තානාපති කාර්යාලය පවසයි.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘති දෙක අතරින් ඉඩම් ව්‍යාපෘතිය හරහා මෙරට ඉඩම් ඇමෙරිකාව වෙත පැවරීමක් සිදුවන බවට එල්ල වන චෝදනා නිසා මෙම MCC ව්‍යාපෘතිය පිළිබඳව මතභේදකාරී තත්ත්වයක් හට ගැනුණි. ජනපතිවරයාගේ නියමයෙන් මෙම MCC ව්‍යාපෘතිය පිළිබදව විමර්ශනය සදහා කමිටුවක් පත් කෙරුණේද මේ හේතුවෙනි.

Visits: 16

Leave a Reply

Your email address will not be published. Required fields are marked *