සංචාරක, ගුවන් සේවා පැමිණිලි විමර්ශනයට විශේෂ ඒකකයක්

සංචාරක, ගුවන් සේවා පැමිණිලි විමර්ශනයට විශේෂ ඒකකයක්

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය හා ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යන කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයට අයත් ආයතන 08 සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට එම අමාත්‍යාංශය පසුගියදා තීරණය කර තිබේ.

එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊට අදාළ උපදෙස් එම අමාත්‍යාංශ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය වෙත ලබා දී ඇතැයි පැවසෙයි. 

ඒ අනුව ගුවන් තොටුපොළ තුළදී මගීන් මුහුණ දෙන ගැටලු, සංචාරකයන්ට සිදුවන අතවර හා ඒ සම්බන්ධ පැමිණිලි, ශ්‍රී ලංකන් ගුවන් යානාවලදී මගීන් මුහුණ දෙන ගැටලු, ආයෝජකයන් මුහුණ දෙන ගැටලු, නිදහස් වෙළෙඳ කලාපවල පවතින ගැටලු සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමට මෙම ඒකකය වෙත පැවරේ.

මෙම ආයතනවලට එයත් කාර්යවලදී හා මෙම ආයතනවලට සම්බන්ධ කටයුතුවලදී මහජනතාව පීඩාවට පත්වීම් සම්බන්ධයෙන් තමන්ට විවිධ පැමිණිලි ලැබී ඇතැයි අමාත්‍යවරයා පවසා සිටියි.

එමෙන්ම මෙම ආයතනවල අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන්ද තමන්ට විවිධ පැමිණිලි ලැබී ඇතැයි පෙන්වා දී ඇති අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳ කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවද අවධාරණය කර තිබේ.මෙරට ජර්මානු තානාපතිවරයාද පසුගියදා අමාත්‍යවරයා හමුවූ අවස්ථාවකදී සිය ජාතිකයන් මෙරට සංචාරයේදී සහ ආයෝජනයේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කර සිටියේය. ඊට දින දෙකකට පසුව මෙම නව ඒකකය පිහිටුවා තිබීමත් විශේෂත්වයකි.

Visits: 48

Leave a Reply

Your email address will not be published. Required fields are marked *