නෙළුම් කුළුණේ භාරකාරිත්වය මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහට

නෙළුම් කුළුණේ භාරකාරිත්වය මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහට

යුද හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා සහ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කලක් සේවය කළ විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා කොළඹ නෙළුම් කුලුණේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාර ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ප්‍රසාද් සමරසිංහ මහතා 1980 වසරේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාව වෙත එක්ව තිබේ. පසුව දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස අධිකාරි නිලයට පත් සමරසිංහ මහතා ශ්‍රී ලංකා යුද හම්දාවේ සංඥා බලකායට අනුයුක්තව සේවය කළේය.

ඔහු සිය යුද හමුදා දිවිය තුළදී ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ උපාධියක්ද  හිමිකරගෙන තිබේ. යුද මෙහෙයුම් කිහිපයක් සඳහාම දායකත්වය ලබා දී ඇති මේජර් ජනරාල් සමරසිංහ මහතා සිව්වන ඊළාම් යුද සමයේදී යුද හමුදාව දියත් කළ මානුෂීය යුද මෙහෙයුම අවස්ථාවේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස විශාල මෙහෙයක් ඉටු කළේය. 

එසේම කලක් ඔහු එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙහි ආරක්ෂක උපදේශකවරයා ලෙස පත්වීම් ලැබීය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේදී ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ පර්යේෂණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය. එසේම රෙජිමේන්තු අණදෙන නිලධාරි ධුරයද දැරුවේය. අනතුරුව 2014 වසරේදී ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහාද උසස් කෙරිණි.

පසුගිය වසරේ ඔක්තෝබර් 16 වැනිදා නිල වශයෙන් විවෘත කෙරුණු මෙම කොළඹ නෙළුම් කුලුණෙහි කටයුතු මේ දක්වා ආරම්භ කර නැත. නෙළුම් කුළුණේ භාරකාරීත්වය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව පවතී. එම කොමිෂන් සභාව පවතින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  යටතේය.

එක්සත් ජනපද ඩොලර් මිලියන 104ක මුදලක් වැය කරමින් දකුණු ආසියාවේ උසම කුලුණ ලෙස ඉදි කෙරුණු මෙම නෙළුම් කුලුණ සන්නිවේදන කුලුණක් ලෙස මෙන්ම විනෝදාස්වාදන අංග සඳහා යොදා ගැනීමට අවශ්‍ය පහසුකම්වලින් සමන්විතය.

Visits: 60

Leave a Reply

Your email address will not be published. Required fields are marked *