UDA සභාපති යුනිටි ප්ලාසා අධ්‍යක්ෂ මණ්ඩලයට

UDA සභාපති යුනිටි ප්ලාසා අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ 04, බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල අයත් ON’ALLY Holdings පීඑල්සී. සමාගමේ නව සභාපතිවරයා ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සභාපති වාස්තු විද්‍යාඥ. ලියනආරච්චිගේ ප්‍රසාද් හර්ෂණ ද සිල්වා මහතා පත් කෙරී ඇතැයි එම සමාගම පවසයි.

ON’ALLY Holdings පීඑල්සී. හි කොටස් අතරින් 47.62%ක ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත හිමිව තිබීම නිසා එහි සභාපතිවරයා මෙම සමාගමේ සභාපතිවරයා ලෙස පත්වීමට හේතුවයි. මීට පෙර නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයා වූ ආචාර්ය ජගත් මුණසිංහ මහතා ON’ALLY Holdings පීඑල්සී. හි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන හර්ෂණ ද සිල්වා මහතා ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සාමාජිකයෙකුද වෙයි.

හර්ෂණ ද සිල්වා මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට අමතරව එය යටතේ පවතින නාගරික ආයෝජන සහ සංවර්ධන (පෞද්ගලික) සමාගම, වෝටර්ස් එජ් ලිමිටඩ්, ලංකා රෙස්ට් හවුසස් ලිමිටඩ් යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද වෙයි.

ඔහු මීට පෙර 2010 වසරේ මැයි 12 සිට 2015 වසරේ ජනවාරි දක්වා ඉඩම් අත්පත් කරගැනීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ (SLLRDC) සභාපතිවරයා මෙන්ම එය යටතේ පවතින LRDC Service (Pvt) සමාගමේද සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

එසේම ඔහු 2011 මාර්තු මාසයේ සිට 2015 ජනවාරි මාසය දක්වා ආරක්ෂක අමාත්‍යාංශයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ නිරීක්ෂකයා ලෙසද කටයුතු කර තිබේ. මීට අමතරව 2018 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හම්බන්තොටදී පැවැත්වීම සදහා වූ ලංසු තැබීම අවස්ථාවේදී එහි සංවිධායක කමිටුවේ සාමාජිකයෙකු ලෙසද සම්බන්ධ වී ඇත. 

දේපළ සංවර්ධනය සහ දේපළ වෙළෙඳාම් ව්‍යාපාරයේ නිරත ON’ALLY Holdings පීඑල්සී. සමාගම ආයෝජන දේපළ කුලියට දීම සිදු කරයි. එම සමාගම සතු ආයෝජන දේපළ ව්‍යාපාරය යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලයි. මෙම ගොඩනැගිල්ලේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග අඩි 130,985 කි. 

Visits: 87

Leave a Reply

Your email address will not be published. Required fields are marked *