ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ආහාර රසායනාගාරයක්

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ආහාර රසායනාගාරයක්

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ආහාර නිෂ්පාදකයන්ට සිට ආහාරවල ප්‍රමිතිය පරීක්ෂා කර ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයක් නිකුත් කිරීමේ හැකියාව සහිත ආහාර රසායනාගාරයක් ඊයේ මොරටුව, කටුබැද්දේ පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ විමල් වීරවංශ මහතා අතින් මෙම රසායනාගාරය විවෘත විය. මෙය නවීන පහසුකම්වලින් සපිරි  ආහාර රසායනාගාරයක් බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි. 

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) හි අරමුදල් ආධාරයෙන් මෙම නව ආහාර රසායනාගාරය  ඉදිකර තිබේ. මෙම අවස්ථාව සඳහා  එම සංවිධානයේ ජාත්‍යන්තර තාක්ෂණ උපදේශක ආචාර්ය ජයිරෝ ඇන්ඩ්‍රෙස් ඩයස් මහතාද සහභාගි වී ඇත.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ආහාර නිෂ්පාදන ව්‍යවසායකයන්ට ඔවුන් නිෂ්පාදනය කරනු ලබන ආහාරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් රසායනාගාර පහසුකම් රට තුළ මෙතෙක් නොතිබූ බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි. අගනුවරට කේන්ද්‍රගතව ඇති පුද්ගලික අංශයෙන් එම කාර්යය සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් රසායනාගාර ජාලයක්ද මේ දක්වා නොමැති බවද එම මණ්ඩලය සඳහන් කරයි.

මෙම ආහාර රසායනාගාරය මගින් ආහාර නිෂ්පාදන පරීක්ෂාව, නිෂ්පාදනවල කල් ඉකුත්වීමේ දිනය පරීක්ෂාව, ලේබල් සඳහා පෝෂණ අන්තර්ගතය පරීක්ෂාව, ආහාර සුරක්ෂිතතාව තීරණය කිරීම, ආහාර විෂ, පළිබෝධනාශක අපද්‍රව්‍ය පරීක්ෂාව වැනි සේවා සපයනු ලබන බවත් පැවසෙයි.ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් සිය නිෂ්පාදන සඳහා ලබා ගත හැකි වීම හරහා ඔවුන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි වැඩි ඉඩකඩක් නිර්මාණය වෙනු ඇති බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Visits: 37

Leave a Reply

Your email address will not be published. Required fields are marked *