HNB ෆිනෑන්ස් මූලික මහජන කොටස් නිකුතුව ලබන සඳුදා

HNB ෆිනෑන්ස් මූලික මහජන කොටස් නිකුතුව ලබන සඳුදා

හැටන් නැෂනල් බැංකුවේ පූර්ණ අනුබද්ධිත සමාගක් වන HNB ෆිනෑන්ස්හි මූලික මහජන කොටස් නිකුතුවක් ලබන සඳුදා (පෙබරවාරි 17දා) සිදුවන බව එම සමාගම නිවේදනය කරයි. “නොසැලෙන ස්ථාවරත්වයක්, තිරසාර සෞභාග්‍යයක්” යන තේමාවෙන් සමාගම මෙම කොටස් නිකුතුව සිදු කිරිමට සැලසුම් කර තිබේ.

ඒ අනුව සාමාන්‍ය ඡන්ද කොටස් මිලියන දහයක් (10,000,000) ක් එකක් රුපියල් 5.70 බැගින් විකිණීම සඳහා පිරිනැමීම සහ සාමාන්‍ය ඡන්ද නොවන කොටස් දෙසිය අනූ අට මිලියන දෙලක්ෂයක් (298,200,000) එකක් රුපියල් 4.20 බැගින් කොටස් හැඳින්වීමක් මගින් කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත කිරීමට සමාගම තීරණය කර ඇත. 

මෙම කොටස් නිකුතුව සඳහා මූල්‍ය උපදේශක සහ කළමනාකරු ලෙස Acuity Partners Ltd සමාගම කටයුතු කරයි.

මේ පිළිබඳ වැඩි දුර විස්තර ලබා ගැනීම සඳහා හෝ ප්‍රකාශ පත්‍රය සහ හඳුන්වාදීමේ ලේඛනය, අයැදුම් පත් බා ගත කිරිම සඳහා www.hnbfinance.lk හෝ www.cse.lk වෙත පිවිසෙන ලෙසත් HNB ෆිනෑන්ස් සමාගම මේ කොටස් නිකුතුව පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස් වෙත පවසා සිටියි.

මෙම කොටස් නිකුතුවෙන් අනතුරුව සමාගම රුපියල් බිලියන 9.35ක සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනයකින් සිය ගනුදෙනු ආරම්භ කිරීමට බලාපොරොත්තු තබා තිබේ.

සමාගම 2018 වසරේදී HNB ෆිනෑන්ස් ලෙස සිය නව සන්නාමකරණය සිදු කිරීමෙන් අනතුරුව සිදු කරන පළමු මහජන කොටස් නිකුතුවද මෙය වෙයි. 

2011 වසරේදී ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වයත් සමගම ප්‍රයිම් ග්‍රාමීන් ලෙස සන්නාමකරණය වූ මෙම සමාගම, 2015 වසරේදී යළිත් හැටන් නැෂනල් බැංකුව මගින් අත්පත් කරගැනීමත් සමග HNB ග්‍රාමීන් ෆිනෑන්ස් සමාගම බවට පත්විය. පසුව 2018 වසරේදී එය HNB ෆිනෑන්ස් ලෙස යළි සන්නාමකරණය විය.

අද වනවිට HNB ෆිනෑන්ස් හි කොටස් අතරින් 51% ක ප්‍රතිශතයක් හැටන් නැෂනල් බැංකුව වෙත හිමිව ඇති අතර 39.57%ක කොටස් ප්‍රතිශතයක් ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම වෙත හිමිව තිබේ.

HNB ෆිනෑන්ස් සතු ශාඛා 48ක් සහ සේවා මධ්‍යස්ථාන 21ක් මගින් පාරිභෝගිකයන් ලක්ෂ පහකට ආසන්න පිරිසකට සේවා සලසන බවත්, ඒ සඳහා සේවකයන් 2,0008ක් යොදවා ඇති බවත් සමාගම පවසා සිටියි.

Visits: 89

Leave a Reply

Your email address will not be published. Required fields are marked *