ශිරාණි ජයසේකර වැලිබල් වන් අධ්‍යක්ෂ මණ්ඩලයට

ශිරාණි ජයසේකර වැලිබල් වන් අධ්‍යක්ෂ මණ්ඩලයට

එල්.බී. ෆිනෑන්ස් පීඑල්සීහි සභාපතිනියක ලෙස කටයුතු කළ ශිරාණි ජයසේකර මහත්මිය වැලිබල් වන් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස පත් කර ඇතැයි වැලිබල් වන් පීඑල්සී සමාගම පවසයි. මෙහිදී ඇය ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂිකාවක ලෙස එම සමාගම වෙත සම්බන්ධ වී තිබේ.

පසුගියදා වැලිබල් වන් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වූ කිමාලි ප්‍රනාන්දුගෙන් හිස් වුණු අධ්‍යක්ෂ මණ්ඩල ධුරය සදහා ශිරාණි ජයසේකර මෙලෙස පත් කෙරී ඇත.

ඇයට මූල්‍ය, තොරතුරු තාක්ෂණය, විගණනය සහ අවදානම් කළමනාකරණය යන ක්ෂේත්‍ර පිළිබදව මෙරට තුළදී මෙන්ම සැම්බියාව සහ බහරේනය යන රාජ්‍යයන් තුළදීද වසර 28කට වඩා වැඩි කාලයක අත්දැකීම් සහිත බව වැලිබල් වන් සමාගම පවසයි. ඇය එල්.බී. ෆිනෑන්ස්හි සභාපතිනිය ලෙස වසර 9කට ආසන්න කාලයක් රාජකාරි කර තිබේ. ඇය 2017 වසරේදී එම ධුරයෙන් ඉවත් වූවාය.

මීට පෙර ඇය කලක් ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගමේ විගණන අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත. එසේම ඇය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පරිපාලිත සමාගමක් වන ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී හි අධ්‍යක්ෂවරියක ලෙසද රාජකාරි කර තිබේ. 

එල්.බී. ෆිනෑන්ස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී යන සමාගම් ද්විත්වයම මෙරට අංක එකේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාට අයත් මූල්‍ය සමාගම් දෙකකි. ඒ අතරින් වැලිබල් වන් හි සියයට 63.5ක කොටස් ප්‍රතිශතයක් ධම්මික පෙරේරාට අයත් වන අතර, එල්.බී. ෆිනෑන්ස්හි සියයට 51.8ක වැඩිම කොටස් ප්‍රතිශතයක් වැලිබල් වන් සමාගමට අයත් වෙයි. 

Visits: 116

Leave a Reply

Your email address will not be published. Required fields are marked *